IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


SLT සමූහයේ 2025 ප්‍රථම අර්ධයේදී ලාබයේ කැපී පෙනෙන වර්ධනයක්

 

  • 2025 ප්‍රථම අර්ධයේදී SLT සමූහයට රැ. බිලියන 4.3 ක බදු පසු ලාබයක් වාර්තා කරයි 
  • සමූහයේ මෙහෙයුම් ලාබය 2025 දෙවැනි කාර්තුවේදී සියයට 148කින් වර්ධනය වේ 
  • Mobitel සමාගම පසුගිය වසරේ පළමු අර්ධයේදී වාර්තා කළ රැ. බිලියන 1.1 ක අලාභයට සාපේක්ෂව මෙම වසරේ පළමු අර්ධයේදී රැ. බිලියන 1.1 ක ලාබයක්

2025 දෙවැනි කාර්තුවේදී සහ ප්‍රථම අර්ධයේදී ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරගනිමින්, ලාබදායීත්වය සහ පිරිවැය කළමනාකරණය සම්බන්ධයෙන් කැපීපෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කිරීමට SLT සමූහය සමත් විය. 
2025 ජූනි 30 දිනයෙන් අවසන් වූ දෙවැනි කාර්තුවේදී SLT සමූහය රු. බිලියන 2.3 ක බදු පසු ලාබයක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය 2024 වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා වූයේ රු. මිලියන 479 ක අලාභයක් වශයෙනි. සමාගම් මට්ටමින් ගත් විට අදාළ කාලසීමාව තුළ SLT සමාගම පෙර වසරේ වාර්තා කළ රු. මිලියන 14 ක අලාභයට සාපේක්ෂව පූර්ණ පරිවර්තනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 1.3 ක බදු පසු ලාබයක් පෙන්නුම් කර ඇත. 2024 දෙවැනි කාර්තුවේදී රු, මිලියන 610 ක අලාභයක් වාර්තා කළ Mobitel සමාගම 2025 දෙවැනි කාර්තුවේදී රු. මිලියන 587 ක බදු පසු ලාබයක් වාර්තා කරගෙන තිබේ. 
2025 ප්‍රථම අර්ධය සඳහා සමූහය වාර්තා කරගෙන ඇති මූල්‍ය කාර්යසාධනයද ප්‍රශංසනීය මට්ටමක පවතී. 2024 ප්‍රථම අර්ධයේදී රු. මිලියන 323 ක අලාභයක් වාර්තා කළ SLT සමූහය මෙම වසරේ පළමු අර්ධයේදී රු. බිලියන 4.3 ක බදු පසු ලාබයක් වාර්තා කරගෙන තිබේ. සමාගම් මට්ටමින් ගත් විට, පෙර වසරේදී රු. මිලියන 272 ක බදු පසු ලාබයක් වාර්තා කළ SLT සමාගම මෙවර එය සියයට  873 කින් වර්ධනය කරගනිමින් රු. බිලියන 2.6 ක බදු පසු ලාබයක් වාර්තා කර තිබේ. Mobitel සමාගම ශක්තිමත් මූල්‍ය ප්‍රවණතාවක ලකුණු පෙන්නුම් කරමින්, පසුගිය වසරේ ප්‍රථම අර්ධයේදී වාර්තා වූ රු. බිලියන 1.1 ක අලාභයට සාපේක්ෂව මෙම වසරේ ප්‍රථම අර්ධයේදී රු. බිලියන 1.1 ක බදු පසු ලාබයක් වාර්තා කරගැනීමට සමත් වී ඇත. 
මෙබඳු කැපීපෙනෙන කාර්යසාධනයක් වාර්තා කරගැනීමට හැකි වීම සම්බන්ධයෙන්, මෙම පරිවර්තනය තුළ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළ SLT සමූහයේ සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වීය. “පසුගිය වසරේදී වාර්තා වූ අලාභයට සාපේක්ෂව මෙවර SLT සමූහය පෙන්නුම් කර ඇති ශක්තිමත් අර්ධ වාර්ෂික කාර්ය සාධනයෙන්, අප සමූහයේ ඔරොත්තු දීමේ හැකියාව සහ සැලසුම් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමේ හැකියාව මනාව පෙන්නුම් කරනවා. මෙම ප්‍රගතිය සමූහය පුරාම ක්‍රියාත්මක වන නව ක්‍රමෝපායික දිශානතියේ සහ කාර්යක්ෂම ආයතනික පාලනයේ ප්‍රතිඵලයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙම සාර්ථකත්වය තුළින් අපට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය බලගන්වන ප්‍රධාන පාර්ශ්වකරුවකු ලෙස අඛණ්ඩව කටයුතු කරන අතරම, ජාතික සංවර්ධනයට අර්ථවත් ලෙස දායක වෙමින් සියලු‍ම කොටස්කරුවන්ට ඉහළම වටිනාකම් තිළිණ කිරීමට හැකියාව ලැබේවි.” 
ලාබ ලැබීමේ ප්‍රවණතාව අඛණ්ඩව ඉදිරියට
මෙහෙයුම් ලාභය අතින්ද සුවිශේෂී පරිවර්තනයක් පෙන්නුම් කරමින්, පෙර වසරට සාපේක්ෂව 2025 දෙවැනි කාර්තුවේදී මෙහෙයුම් ලාබය සියයට 148 කින් වර්ධනය කරගැනීමට SLT සමූහය සමත් විය. ඒ අතරින් SLT සමාගමේ මෙහෙයුම් ලාබය සියයට 61 කින් වර්ධනය වී ඇති අතර, Mobitel සමාගම දැවැන්ත වර්ධනයක් අත්පත් කරගනිමින් සිය මෙහෙයුම් ලාභය පෙර වසරට සාපේක්ෂව වර්ධනය කරගැනීමට සමත් වී තිබේ. 
SLT සමූහය 2025 දෙවන කාර්තුව සඳහා රුපියල් බිලියන 27.3 ක ආදායමක් වාර්තා කරගෙන ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 2.6 ක වර්ධනයකි. සමාගම් මට්ටමින් ගත් විට SLT සමාගමේ ආදායම රුපියල් බිලියන 17.7 ක් වූ අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 2.5 ක වර්ධනයක් ලෙස වාර්තා වේ. සමස්තයක් ලෙස ගත් විට, කාර්තුවේ ආදායමට මූලික වශයෙන් දායක වී ඇත්තේ සියයට 6.4 ක වර්ධනයක් සමගින් Mobitel වාර්තා කරගෙන ඇති ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයයි.  
2025 දෙවැනි කාර්තුවේදී සමූහයේ පරිපූර්ණ පිරිවැය ප්‍රශස්තකරණ වැඩසටහන් මගින් කැපීපෙනෙන ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වූ අතර, එමගින් පෙර වසරට සාපේක්ෂව සමස්ත සෘජු පිරිවැය සියයට 13.5 කින් අවම කරගැනීමට හැකි විය. මීට සමගාමීව SLT සමාගමේ පිරිවැය සියයට 10.3 කින් පහළ ගිය අතර, Mobitel සමාගමේ පිරිවැය සියයට  4කින් පහළ ගොස් ඇත. 
ප්‍රධාන වශයෙන් SLTසමාගම වෙළෙඳපොළ පුළුල් කිරීමේ කටයුතු වෙනුවෙන් සිදු කළ ආයෝජන හේතුවෙන් එම සමාගමේ අලෙවිකරණ වියදම් සියයට 17 කින් ඉහළ යාමට සමගාමීව සමූහයේ විකුණුම් හා අලෙවිකරණ පිරිවැය පෙර වසරට සාපේක්ෂව සියයට 6.2 කින් ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් Mobitel සමාගම තම අලෙවිකරණ පිරිවැය සියයට 9.1 කින් අඩු කරගැනීමට සමත් වීම හේතුවෙන් එහි බලපෑම අවම වී ඇත. ප්‍රධාන වශයෙන් SLT සහ Mobitel සමාගම්වල පරිපාලන වියදම් ඉහළ යාම හේතුවෙන් සමූහය මට්ටමින් පරිපාලන වියදම් සියයට 7.8 කින් ඉහළ ගොස් තිබේ. 
මෙම වාර්තාවට අදාළ කාර්තුව තුළ සමස්ත සමූහයේ පොලී වියදම් සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත. ප්‍රධාන වශයෙන් ණය ගැනීම් අඩු වීම නිසා SLT සමාගමේ මූල්‍ය පහසුකම් පිරිවැය සියයට 31 කින් අඩු වීම හේතුවෙන් සමූහයේ මූල්‍ය පිරිවැය සියයට 18.9 කින් පහළ ගොස් තිබේ. කෙසේ නමුත් කෙටිකාලීන ව්‍යාපෘති සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් ලබාගැනීම හේතුවෙන් Mobitel සමාගමේ පොලී පිරිවැය සියයට 23.5 කින් ඉහළ ගොස් ඇත. 
“2024 වසරේ ප්‍රථම අර්ධයේදී වාර්තා කළ රුපියල් බිලියන 1.1 ක අලාභය 2025 පළමු අර්ධයේදී රුපියල් බිලියන 1.1 ක ශුද්ධ ලාබයක් බවට පරිවර්තනය කරගැනීමට Mobitel සමත් වීම අපගේ ක්‍රමෝපායික වැඩසටහන් සාර්ථක වී ඇති බවට මෙන්ම වෙළෙඳපොළ තුළ අප සතු ස්ථානය තවදුරටත් තහවුරු වී ඇති බවට මනා සාක්ෂියක්. වැඩිදියුණු කළ ජාල හැකියාව සහ දත්ත සේවා ඔස්සේ වෙළෙඳපොළ අවස්ථා සාර්ථක ලෙස ග්‍රහණය කරගන්නා අතරම තිරසාර මෙහෙයුම් කාර්යක්ෂමතාවක් පවත්වා ගනිමින්, සමූහයේ සමස්ත ආදායම් වර්ධනයට රුපියල් බිලියන 1.6 ක දායකත්වයක් ලබාදීමට අපට හැකියාව ලැබුණා. මෙම යහපත් ප්‍රවණතා හේතුවෙන් දිගින් දිගටම ලංකාවේ තාක්ෂණික දියුණුවේ පෙරගමන්කරුවකු ලෙස ඉදිරියෙන්ම සිටීමට Mobitel සමත් වී තිබෙනවා.” Mobitel සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුදර්ශන ගීගනගේ මහතා පැවසීය. 



අදහස් (0)

SLT සමූහයේ 2025 ප්‍රථම අර්ධයේදී ලාබයේ කැපී පෙනෙන වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site