IMG-LOGO

2025 ජුනි මස 15 වන ඉරිදා


SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ප්‍රගතිය යළි තහවුරු කරයි

SLT-MOBITEL සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා

2025 ප්‍රථම කාර්තුව තුළ තම මූල්‍ය ප්‍රතිඵල පූර්ණ පරිවර්තනයකට ලක්කර ගැනීමට SLT-MOBITEL සමත් වී තිබේ. එම කාර්තුව තුළ සමූහයේ බදු පසු ලාබය රු. මිලියන 2,001 ක් වූ අතර, මෙය 2024 වසරේ පළමු කාර්තුවේදී වාර්තා වූ රු. මිලියන 156 ට සාපේක්ෂව දැවැන්ත වර්ධනයකි. මෙය සමාගමේ මෙහෙයුම්වල ඔරොත්තු දීමේ හැකියාවට මනා උදාහරණයක් වන අතරම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය බලගන්වන ජාතික සම්පතක් ලෙස සමාගම ඉටුකරන භූමිකාව තවදුරටත් තහවුරු කරන සාධකයක්ද වේ. 
 “මෙය හුදෙක් මූල්‍යමය සන්ධිස්ථානයක් පමණක් නොවෙයි. මෙය ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය තුළ අභියෝගවලට මුහුණ දිය හැකි සහ කිසිසේත්ම බැහැර කළ නොහැකි බලවේගයක් ලෙස අප සතු භූමිකාව යළි තහවුරු වීමක් ලෙස හැඳින්වීමට පුළුවන්,” SLT-MOBITEL සභාපති ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා පැවසීය. 
SLT සමූහය වාර්තා කළ මෙම විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල සඳහා එහි ප්‍රධාන සමාගම් දෙකම කැපීපෙනෙන දායකත්වයක් ලබා දී තිබේ. SLT PLC හි බදු පසු ලාබය සියයට 369.9 කින් ඉහළ ගොස් රු. මිලියන 1,344 ක් ලෙස වාර්තා වී ඇති අතර, බදු පෙර ලාබය සියයට 380 කින් සහ මෙහෙයුම් ලාබය සියයට 60.3 කින් ඉහළ ගොස් ඇත. ආයතනික, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ බ්‍රෝඩ්බෑන්ඩ් යන සේවා කාණ්ඩවලින් ලැබුණු ආදායම වර්ධනය වීම, පිරිවැය කළමනාකරණ විධිවිධාන සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වීම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. 
මේ අතර Mobitel (SLT-MOBITEL Mobile) කැපීපෙනෙන කාර්යසාධනයක් පෙන්නුම් කරමින් රු. බිලියන 11.8 ක ආදායමක් වාර්තා කර ඇති අතර, ජංගම දත්ත සේවා සඳහා ඇති ඉල්ලු‍ම ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එහි මෙහෙයුම් ඉපැයුම් ලාබය (EBITDA) සියයට 28.5 කින් ඉහළ ගොස් ඇති අතර මෙහෙයුම් ඉපැයුම් ලාභාන්තිකය සියයට 30 ක් ලෙස වාර්තා වී තිබේ. 2024 වසරේ පළමු කාර්තුවේදී ශුද්ධ අලාභයක් වාර්තා කළ Mobitel මෙම වසරේදී එය පූර්ණ පරිවර්තනයකට ලක්කර ගනිමින්, සියයට 392 ක වර්ධනයක් පෙන්නුම් කරමින්, රු. මිලියන 477 ක ශුද්ධ ලාබයක් වාර්තා කර ඇත. එමෙන්ම 2024 වසරේදී ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජාලය ලෙස Ookla® වෙතින් ලැබුණු ඇගයීම මගින් මෙරට ජංගම දුරකථන සේවා ක්ෂේත්‍රය  SLT-MOBITEL Mobileසතු නායකත්වය තවදුරටත් තහවුරු විය. 
කලකට ඉහත විකිණීම සඳහා සැලසුම් කර තිබූ SLT-MOBITEL සම්පූර්ණ පුනර්ජීවනයක් ලබමින්, රටේ ඩිජිටල් පරිවර්තනය තුළ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකරන සමාගමක් ලෙස නැවත ඉදිරියට පැමිණ ඇති අතර, වැදගත් ජාතික සම්පතක් ලෙස එයට නව රජයේ පිළිගැනීම හිමි වී ඇත. සමාගමේ මෙම පුනර්ජීවනය, ක්‍රමෝපායික නායකත්වය, මෙහෙයුම් ශික්ෂණය සහ පාර්ශ්වකරුවන්ගේ එකඟතාව තුළින් ජාතික වටිනාකම් නිර්මාණය කළ හැකි ආකාරය සම්බන්ධ මනා උදාහරණයක් ලෙස හැඳින්විය හැකි වේ. 
සමූහය අත්කරගත් මෙම සාර්ථකත්වය, සමස්ත සමූහය ආවරණය වන පරිදි ක්‍රියාවට නැංවුණු අතිශය පුළුල් සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි. 
සමූහයේ මෙහෙයුම් තුළදී එහි ඉංජිනේරුවන්, කාර්මික ශිල්පීන්, පාරිභෝගික සේවා අංශයේ සාමාජිකයන් සහ සහය සේවා කාර්ය මණ්ඩලය ඇතුළු සියලු‍ම දෙනා මෙම පරිවර්තනය වැළඳගනිමින් එය ප්‍රවේගවත් කිරීමට දායක වූහ. නව තාක්ෂණයට අනුගත වෙමින් සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඔවුන් ලබා දුන් දායකත්වය, පාරිභෝගික තෘප්තිය එලෙසින්ම රඳවා ගැනීමට උපකාරී විය. බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් පුළුල් කිරීමේ සිට ආයතනික සේවාදායකයන්ට අවශ්‍ය සහයෝගය ලබාදීම දක්වාම ඔවුන්ගෙන් ලද දායකත්වය සමූහයේ වර්ධනයට සුවිශාල පිටුබලයක් විය. 
මෙම පරිවර්තනය තුළ සමාගමට නායකත්වය දෙමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසින්ද සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ලදී. දීර්ඝකාලීන තිරසාරත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ඔවුහු ප්‍රතිසංස්කරණ ඇතිකිරීමට පිටුබලය සැපයූ අතර, ඩිජිටල් යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජන කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදෙමින් සමාගමේ වර්ධනය ජාතික ප්‍රමුඛතා සමග සමපාත වන බව සහතික කරගැනීමට පියවර ගත්හ. මෙම ක්‍රමෝපායික නායකත්වය හේතුවෙන් සමූහයට සිය මූල්‍ය ශික්ෂණය පවත්වාගන්නා අතරම නවෝත්පාදන වෙත යොමුවීමට හැකියාව ලැබී ඇත.
SLT-MOBITEL හි තාක්ෂණික හවුල්කරුවන්ගෙන්ද මෙම සාර්ථකත්වය උදෙසා ලැබුණේ නොමඳ දායකත්වයකි. දේශීය හා ජාත්‍යන්තර නවෝත්පාදකයන් සමග එක්ව කටයුතු කිරීම හේතුවෙන් AI තාක්ෂණය මූලික කරගත් විසඳුම්,  Cloud පදනම් සහ අතිනවීන සම්බන්ධතා සේවා හඳුන්වා දීමට සමාගමට හැකියාව ලැබිණි. මෙම හවුල්කාරීත්වය නිසා සමාගමට ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටිමින්, ජාත්‍යන්තර තලයේ ඩිජිටල් සේවා පිරිනැමීම පිළිබඳ සිය ප්‍රතිඥාව ඉටු කිරීමට හැකි විය.



අදහස් (0)

SLT-MOBITEL 2025 පළමු කාර්තුවේදී ප්‍රගතිය යළි තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site