
වතුපිටිවල එස්. යූ. ඩබ්ලිව්. කේ. ජයවර්ධන
රථවාහනවල රියැදුරු සහ මගී ආරක්ෂිත බඳපටි නිපදවන නව කම්හලක් වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේදී ඉකුත්දා උත්සවාකාරයෙන් විවෘත කෙරිණි. ඇමරිකන් සමාගමක් වන SHIELD RESTRAINT SYSTEMS (PVT) LTD නව කර්මාන්ත ශාලාව ඇමරිකන් ඩොලර් මිලියන 8.5ක ආයෝජනයකින් ආරම්භ කර තිබේ.
ලෝකයේ විවිධ රටවල නිපදවන මිල අධික හා නවීන වාහන සඳහා ආරක්ෂිත බඳපටි මෙම කම්හලේ නිපදවනු ලබයි. නව කම්හලෙන් ශ්‍රී ලාංකික කාන්තා පිරිමි 500ක පමණ පිරිසකට රැකියා අවස්ථා උදාවන බවද, මෙමගින් ඇමරිකානු ඩොලර් මිලියන 50ක වාර්ෂික ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බවද එම සමාගමේ සාමාන්‍යාධිකාරී කීර්ති චන්ද්‍රසේකර මහතා විවෘත කිරීමේ උළෙල අමතමින් පැවසීය. SHIELD ආයතනයේ සභාපති ඩෙනිස් පර්සල්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නියෝජනය කරමින් ඇමරිකන් ජාතික දෙදෙනෙක්ද, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන්, වතුපිටිවල අපනයන සැකසුම් කලාපයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්. ජී. බී. ප්‍රසාද් සිල්වා, නව කම්හලේ මානව සම්පත් කළමනාකරු චන්දන හපුආරච්චි, එහි ඉංජිනේරු කළමනාකරු කැළුම් සමරසිංහ, මූල්‍ය කළමනාකරු දීප්තිකා ජයවීර, සැලසුම් කළමනාකරු සිදත් ද අල්විස් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
SHIELD RESTRAINT SYSTEMS නව කර්මාන්ත ශාලාව වතුපිටිවලදී විවෘත කෙරේ