![]() |
| සභාපති ප්‍රේමලාල් බ්‍රාහ්මණගේ |
![]() |
| සම සභාපති සඳමිණි පෙරේරා |
Prime Lands Residencies PLC (CSE: PLR) සමාගම 2025 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ කාර්තුව තුළ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින් සිය කොටස් හිමියන්ගේ අපේක්ෂා නොවෙනස්ව රඳවා ගැනීමට සමත් වී තිබේ. පසුගිය මාස 3 ක කාල පරිච්ඡේදය තුළ සමාගමේ කොටස් මිල සියයට 40 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගිය අතර, එය ආයෝජක විශ්වාසය වර්ධනය වී ඇති බවට මනා සාක්ෂියකි.
පසුගිය වසර 2 ක කාලය තුළ සමාගම The Border Colombo ව්‍යාපෘතියේ කුලුනු 3 ක් (ඒකක 484), J’adore Negombo (ඒකක 333), The Golf Colombo 08 (ඒකක 64), Mon Vie Colombo 05 (ඒකක 349), Prime Colombo 9 (ඒකක 559) සහ The Seasons Colombo 08 (ඒකක 44) වැනි මහා පරිමාණ ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැංවූ අතර, මේ හේතුවෙන් වෙළෙඳපොළේ සමාගම කෙරෙහි පවතින විශ්වාසය අඛණ්ඩව ඉහළ මට්ටමක පැවතිණි.
පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව මෙම කාර්තුවේ ආදායම සියයට 43 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.80 ක් ලෙස වාර්තා විය. The Colombo Border ව්‍යාපෘතියේ C කුලුනේ ඉදිකිරීම් ප්‍රගතිය වේගවත් වීමත් සමග එහි ඇස්තමේන්තුගත ආදායම ඉක්මවා යෑම සිදුවිය. තවද The Seasons – Colombo 08 ව්‍යාපෘතිය ආදායම හඳුනාගැනීමේ අවම ඉදිකිරීම් ප්‍රතිශතය ඉක්මවීමත් සමග ප්‍රථම වරට එහි ආදායම මූල්‍ය වාර්තාවලට එකතු කරගැනීම මෙම කාර්තුවේදී සිදු විය. නව ව්‍යාපෘති සම්බන්ධයෙන් සමාගම අනුගමනය කරන විචක්ෂණශීලී ප්‍රතිපත්තිය හේතුවෙන් අලුතින් දියත් කරන ලද අනෙකුත් ව්‍යාපෘතිවල ආදායම තවමත් මෙම මූල්‍ය ප්‍රතිඵලවලට ඇතුළත් කර නොමැත. මේ නිසා ඉදිරි කාල පරිච්ඡේද තුළ ආදායමේ වර්ධනය සඳහා වැඩි ඉඩක් පවතී.
සමාගමේ දළ ලාභය පෙර වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව දෙගුණයකටත් වඩා, එනම් සියයට 111 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.05 ලෙස වාර්තා වී ඇත. ව්‍යාපෘතිවල මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු වීම මෙන්ම, රටේ පිළිගත් ඉදිකිරීම් සමාගම් සමග එක්ව කටයුතු කිරීමෙන් පිරිවැය කාර්යක්ෂමතාව ඉහළ යාම, ටෙන්ඩර් කළමනාකරණයේදී ක්‍රමෝපායික පියවර අනුගමනය කිරීම, ප්‍රසම්පාදන සැලසුම්කරණය වැඩිදියුණු කිරීම සහ ඉදිකිරීම් වේගවත් වීම යනාදී සාධක මෙම කැපී පෙනෙන වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. විශේෂයෙන්ම C කුලුනේ ඉදිකිරීම් කටයුතු මුලින් සැලසුම් කළ කාලසීමාවට මාස 4 කට පෙර අවසන් කිරීමට හැකිවීම සැලකිය යුතු ජයග්‍රහණයකි.
ප්‍රයිම් සමූහය විසින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 200 ක මුදලක් පරිත්‍යාග කරන අතර, ඉන් රු. මිලියන 100 ක් පරිත්‍යාග කරන ලද්දේ Prime Lands Residencies PLC විසිනි. එම පරිත්‍යාගයෙන් අනතුරුව පවා සමාගමේ මෙහෙයුම් ලාභය පෙර වසරේ අදාළ කාල පරිච්ඡේදයට සාපේක්ෂව සියයට 147 ක් වැනි ඉහළ ප්‍රතිශතයකින් වර්ධනය වී රුපියල් මිලියන 730.9 ක් ලෙස වාර්තා විය.
මෙම සමාලෝචනයට අදාළ කාර්තුව සඳහා සමාගමේ බදු පසු ලාභය පෙර වසරට සාපේක්ෂව සියයට 144 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 562.3 ක් ලෙස වාර්තා වී ඇති අතර, එය ශක්තිමත් ඉපැයුම් ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මෑතකදී දියත් කරන ලද ව්‍යාපෘති ඉදිරි මාස 36 තුළ ආදායම් වාර්තා කිරීම ආරම්භ කරන බැවින් ඉදිරි කාලයේදී මෙම ප්‍රවණතාව තවදුරටත් වර්ධනය වනු ඇත.
Prime Lands Residencies සමාගමේ ආදායමේ කැපීපෙනෙන වර්ධනයක්