
නුවරඑළියේ Araliya Green Hills හිදී පසුගියදා පැවැත්වුණු NextGen Skills Awards සම්මාන උළෙල සහ ශිෂ්‍ය කුසලතා ප්‍රදර්ශනයේදී දෙමළ මාධ්‍ය වතු පාසල් තුනක තරුණ තරුණියන්ගේ කුසලතා එළි දැක්වුණු අතර, ජයග්‍රාහකයන්ට ඇගයුම් හා සහතික පිරිනමනු ලැබීය.
මෙම සුවිශේෂී නියමු ව්‍යාපෘතියේදී සිසුන්ගේ කථිකත්වය, නාට්‍ය හා නර්තන හැකියාව විදහා දක්වන්නට ද අවස්ථාව හිමිවී තිබූ අතර, ඔවුන්ගේ ආත්ම විශ්වාසය, නිර්මාණශීලීත්වය සහ කණ්ඩායම් ක්‍රියාකාරිත්වය ප්‍රදර්ශනය කරන්නට ද මේ හරහා අවස්ථාව හිමි විය. මෙම වැඩසටහනට සහභාගී වූ සිසුන් 100කට වැඩි පිරිසකට සහතිකපත් ප්‍රදානය කෙරුණු අතර, ශිෂ්‍ය කණ්ඩායම් නායකයන්, ගුරු භවතුන්, පාසල් ප්‍රධානීන් සහ විවිධ පාර්ශ්ව නියෝජනය කළ අධ්‍යාපන හවුල්කරුවන් ද ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන් ඇගයීමට ලක් කෙරිණි.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හා නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යන ආයතනවල පූර්ණ සහයෝගය හා උපදේශකත්වය යටතේ බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් සංවිධාන කරනු ලැබූ NextGen Skills නියමු ව්‍යාපෘතියේ සුවිශේෂී කඩඉමක් ලෙස මෙම උත්සවය සාර්ථක අයුරින් පැවැත්වුණි. මේ සඳහා හොල්බෲක් දෙමළ මහා විද්‍යාලය, ආගරපතන දෙමළ මහා විද්‍යාලය සහ සෞම්‍යමූර්ති තොණ්ඩමන් විද්‍යාලය යන විදුහල්වල සිසු දරු දැරියෝ සහභාගී වූහ.
බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ගැහැනු ළමයින් වෙනුවෙන්ම ක්‍රියාත්මක කරනු ලබන ‘ඩිජිටල් සහ ගැහැනු ළමයින්ගේ අධ්‍යාපනය‘ (EDGE) වැඩසටහනට අදාළ විශේෂාංග ද මෙම NextGen Skills වැඩසටහනට ඇතුළත්ව තිබිණ. පාසල් ළමා සමාජවල ගැහැනු පිරිමි මිශ්‍ර සහභාගීත්වය යටතේ ලංකාවට ගැළපෙන ආකාරයේ වැඩසටහනක් ලෙස සකස් කර තිබූ මෙම නියමු ව්‍යාපෘතිය සඳහා අවුරුදු 12-15 වයස් කාණ්ඩයේ සිසුන් 142 දෙනකු සහභාගී වූ අතර, කණ්ඩායම් නායකයන් (Peer-Group Leader) ලෙස පුහුණුව ලැබූ සිසුන් 43 දෙනකු ද විය.
වැඩසටහනේ සිදු කළ ප්‍රායෝගික ක්‍රියාකාරකම්වලින් සිසුන්ට ඉංග්‍රීසි සන්නිවේදනය, ඩිජිටල් සාක්ෂරතාව, සමාජ සංවේදීබව, නායකත්වය සහ පුළුල් ජීවිත කුසලතා වර්ධනයට අවස්ථාව හිමි විය. ක්‍රියාකාරකම් මෙහෙයවීමට, සහභාගීත්වය දිරිගැන්වීමට සහ සිසුන්ට එකිනෙකා සමග සහයෝගයෙන් ඉගෙන ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට කණ්ඩායම් නායකයන්ට සහයෝගය ලබා දෙන ලදී.
NextGen කුසලතා සංවර්ධන වැඩසටහන නුවරඑළියේදී