IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


Industry Expo 2025 කර්මාන්තකරණයේ නව යුගයක්

කර්මාන්ත ක්ෂේත්‍රයේ නව මං පෙත් සොයා යමින් කර්මාන්‍ත නවෝදයකින් පොහොසත් රටක් ගොඩ නැගීමේ මෙහෙවරක යෙදී සිටින ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය හා එක්ව සංවිධානය කරනු ලබන Industry Expo -2025 සහ 2026 වසරේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති කර්මන්ත නවෝදාන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව එහි වත්මන් සභාපති රවි නිශ්ශංක මහතා සමග කළ සාකච්ඡාවක් මේ.

 Industry Expo 2025 මින් පෙර  පැවැති Expo වලින් වෙනස් වන්නේ කෙසේද? 

Industry Expo ද ශ්‍රී ලාංකිකයන්ට නවමු අත්දැකීමක් නොවන බව ඇත්ත. එහෙත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ අප මෙම ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම නව ආරකින් නව පරාසයක් තුළ පැවැත්වීමට සියලු‍ කටයුතු සංවිධානය කර තිබෙනවා. සැප්තැම්බර් 18-21 දක්වා BMICH හිදී පැවැත්වෙන මෙම කර්මාන්ත ප්‍රදර්ශනය දේශීය  සහ විදේශීය කර්මාන්තකරුවන් 450 කට වැඩි ගණනක් සහභාගී කරවා ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙවර Expo හි විශේෂත්වය වන්නේ ඒ තුළින් ජාත්‍යන්තර සහයෝගිතාව, නූතන  තාක්ෂණ දැනුම  හුවමාරුව, හා අපනයන පුළුල් කිරීමට වැඩි අවධානයක්  යොමු කර තිබීමයි. එමෙන්ම මෙවර නවෝත්පාදකයන් 200 දෙනකුට අවස්ථාව සලසා දී තිබෙනවා.

මෙම කර්මාන්ත ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු අප රේඛීය අමාත්‍යාංශයේ නිලධාරීවරුන්ගේ උපරිම සහයෝගය ලැබී තිබෙනවා.

දේශීය  නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ලෝක වෙළෙඳපොළ හා සෘජුව සම්බන්ධ කිරීම අරමුණු කරගෙන B2B සැසි, ක්ෂේත්‍රානුකූල විවාද, හා සාකච්ඡා  වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට වැඩි අවධානයක් මෙවර යොදා තිබෙනවා. Industry  Expo 2025 යනු හුදෙක් නිෂ්පාදන ප්‍රදර්ශනයක්  පමණක් නොව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කාර්මික ආර්ථිකයට තරග කිරීමට සූදානම්ව සිටින බව ලෝක ප්‍රජාව ඉදිරියේ සනිටුහන් කිරීමක්.

 ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ‌ප්‍රගමනය උදෙසා ලංකා කාර්මික  සංවර්ධන මණ්ඩලය 2026 වසරේ  ක්‍රියාත්මක කිරීමට සැලසුම්  කර ගෙන සිටින ව්‍යාපෘති මොනවාද? 

2026 වසරේ දී ක්‍රියාත්මක කළ යුතු යැයි සහ එම ක්‍රියාන්විතවලින් නව රජයේ මූලික පරමාර්ථය වන ”‍පොහොසත් රටක් ”‍ නිර්මාණය කිරීමට අත්‍යාවශ්‍ය යැයි අප විශ්වාස කරන ව්‍යාපෘති කිහිපයක් සඳහා මේ වන විට අවධානය යොමු කර තිබෙනවා. ඒ පිළිබඳව කෙටියෙන් විස්තර කරනවා නම්;

1. දිවයින පුරා ආනයන ආදේශන කර්මාන්ත 331 ක් ස්ථාපිතකිරීම - කර්මාන්ත නවෝදය 

මෙහි මූලික අරමුණු වනුයේ ව්‍යවසායකයන් 50 ක පමණ කණ්ඩායමක් යොදා ගෙන සාමූහික ව්‍යාපාරයක් ස්ථාපිත කර දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා නිෂ්පාදන කර්මාන්ත පිහිටුවීමයි. මේ තුළින්  ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික්, යන්ත්‍රෝපකරණ, ප්ලාස්ටික්, පොලිමර්, රබර්, රසායන ද්‍රව්‍ය සහ ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන ආදිය මූලික වශයෙන් ආවරණය වෙනවා. මෙයින් දැනට ආනයනය කරන භාණ්ඩවල ප්‍රමාණය අවම කිරීම අපේක්ෂා කරන අතර  බදු සහන ලබා දීම, තාක්ෂණ සේවා සැපයීම සහ විය හැකි අලෙවිකරණ සහාය ලබා දීම ද අපේක්ෂා කරනවා.  

මෙම ආනයන ආදේශන කර්මාන්ත 331 මගින් ඉහළ වැටුප් නව සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා 30,000ක්  පමණ ජනනය වේයැයි ගණන් බලා තිබෙනවා. 2026  සිට දිවයින පුරා මෙම ආදේශන කර්මාන්ත 331 ස්ථාපිත කිරීම අරමුණු කර ගෙන මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටිනවා.

 2. කර්මාන්ත පෝෂක මධ්‍යස්ථාන   (Industry Incubators)  පිහිටු වීමේ ව්‍යාපෘතිය 

ව්‍යවසායකත්වය යනු  කාර්මික සංවර්ධනයේ මුදුන් මුල කිව්වොත් නිවැරදියි. මෙම ව්‍යවසාකත්වය පෝෂණය කිරීමට කර්මාන්ත ප්‍රතිපෝෂක මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කිරීමට අදහස් කරගෙන සිටිනවා.

මෙම කර්මාන්ත පෝෂක මධ්‍යස්ථානවලින් ව්‍යවසායකත්ව උපදේශනය, තාක්ෂණික සහාය ලබා දීම, වෙළෙඳපොළ අවස්ථා සමග එම කර්මාන්ත සම්බන්ධ කිරීම සහ කර්මාන්තය පවත්වා ගෙන යාමට සහාය ලබා දීම අරමුණු  වෙනවා. මෙහිදී මෙම කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ විශේෂඥයන්, සේවාදායකයන් සහ විභව සේවාලාභීන් ජාලගත කිරීමටත්, ඔවුන් අදාළ පොකුරු සමාගම හා සම්බන්ධ කරවීමටත් අපේක්ෂා කරනවා.

මේ තුළින් විශේෂයෙන්  ඉලෙක්ට්‍රික්, ඉලෙක්ට්‍රොනික්, යන්ත්‍රෝපකරණ, ප්ලාස්ටික්, පොලිමර්, රබර්, රසායන ද්‍රව්‍ය සහ ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන පොකුරු සමාගම් සාර්ථකව ස්ථාපනය වී සංවර්ධනය වූ පසු ඒවා පෝෂක පද්ධතියෙන් මුදාහරිනු ලබනවා. එම කර්මාන්ත සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයට අයත් කර්මාන්තපුරවල ඉඩම් ලබාදීමටද බලාපොරොත්තු වෙනවා.

 3. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට නියමිත කාර්මික නගර ව්‍යාපෘතිය 

කර්මාන්ත ඇතිකිරීමට සුදුසු ඉඩම් හිඟ වීම ආයෝජකයන් මුහුණ දෙන සුවිශේෂි අභියෝගයක් ලෙස හඳුනා ගන්න පුළුවන්. මෙම ගැටලු‍වට විසඳුමක් ලෙස ජාතික කර්මාන්ත සැලැස්මට අනුකූලව, විශේෂිත කාර්මික නගර ව්‍යාපෘතියක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකිරීමට ලංකා කාර්මික  සංවර්ධන මණ්ඩලය යෝජනා කර තිබෙනවා. රට තුළ කාර්මික ජනපද සඳහා ඉඩම් ප්‍රමාණය අක්කර 100,000 ක් පමණ සැලසුම් කළ යුතු බව අපගේ අදහසයි.

මෙය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අක්කර 50,000 ක පමණ වන ඉඩම් ප්‍රමාණයක ස්ථාපිත කිරීමට යෝජනා කරන අතර, මෙම කාර්මික නගරය මත්තල ගුවන්තොටුපොළ සහ මාගම්පුර වරාය සම්බන්ධ කරමින් ප්‍රධාන විකුණුම් මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් යෝජනා කරමින් තිබෙනවා. 

මෙහිදී අදාළ ආයෝජකයන්ට අක්කර 250ක භුමි ප්‍රමාණයක් බැගින් පියවරෙන් පියවර සංවර්ධනය කරදීමට පෞද්ගලික අංශය සම්බන්ධ කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය රාජ්‍ය පෞද්ගලික හවුල්කාරි (PPP) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. එමගින් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජකයන් අතර සහයෝගීතාව සහතික වන බව අපගේ විශ්වාසයයි.

මෙය ජාත්‍යන්තර තලයේ විශාල හා නවීන කර්මාන්ත පුරයක් ලෙස හා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් වලින් අන්‍යනය වූ කර්මාන්ත නගරයක් ලෙස දියුණු කිරීමට අපේක්ෂා කරනවා.

මෙම කාර්මික නගරය විදේශ ආයෝජකයන් ආකර්ෂණය කරගැනීමට නිර්මාණය කර ඇති අතර ඒ සඳහා වන ප්‍රධාන පහසුකම් වලින්ද සමන්විත වෙනවා.

 “මෙම ව්‍යාපෘති සියල්ල ජනතාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මකයි. රැකියා අවස්ථා, වෙළෙඳපොළ ප්‍රවේශය, ව්‍යවසායකත්වය වර්ධනය, ආනයන අවම කිරීම, සහ ආර්ථිකය ස්වයංපෝෂිත හා අපනයන-මූලික ආර්ථිකයක් බවට පත් කිරීම සිදුවේවි.

 2030 දැක්ම: කාර්මික නවෝදයක්  

“කාර්මික සංවර්ධන මණ්ඩලය ලෙස අපගේ  දැක්ම වන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ නවෝත්පාදනවල  සහ කාර්මික විශිෂ්ටත්වයේ කේන්ද්‍රස්ථානයක්  බවට පත්වීමයි. Industry Expo 2025 වැනි ප්‍රවේශයෙන්  සහ මෙවැනි ව්‍යාපෘතිවලින් අපට එම ඉලක්කය කරා යෑමට හැකි බව මාගේ විශ්වාසයයි. 

ඒ සඳහා  මාර්ග සටහන අප විසින් නිර්මාණය කරමින්  සිටිනවා. ඒ වෙනුවෙන් කැපවී වැඩ කිරීමත් නව්‍යතා සමග ලෝක වෙළෙඳපොළ හා සම්බන්ධ වෙමින්  කාර්මික ආර්ථිකයක් ඇති කිරීම කාර්මික සංවර්ධන මණ්ඩලයේ දැක්මයි. සාර්ථක අනාගතයක් අපට තිබෙන අතර අප ඒ කරා ළඟා වෙමින් සිටිනවා.



අදහස් (0)

Industry Expo 2025 කර්මාන්තකරණයේ නව යුගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site