IMG-LOGO

2026 අගෝස්තු මස 19 වන බදාදා


IMF දීගය අවසන් වෙයිද?

2027 මාර්තුවෙන් පසු ඇත්තේ නිදහසද? නැතිනම් තවත් අභියෝගයක්ද?
2027 මාර්තු මාසය ශ්‍රී ලංකාවේ ආර්ථික ගමනේ තීරණාත්මක සන්ධිස්ථානයක් වනු ඇත. මක්නිසාද යත් 2023දී ආරම්භ වූ IMF විස්තීර්ණ අරමුදල් පහසුකම්  (Extended Fund Facility - EFF) වැඩසටහන අවසන් වීමට නියමිත අතර, එය 2022 ආර්ථික අර්බුදයෙන් පසු රට ස්ථාවර කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. විදේශ සංචිත ශක්තිමත් කිරීම, උද්ධමනය පාලනය කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා මෙම වැඩසටහන මූලික සහායක් ලබා දුන්නේය.
එහෙත් IMF වැඩසටහන අවසන් වීම යනු ශ්‍රී ලංකාවේ සියලු‍ ආර්ථික ගැටලු‍ අවසන් වීමක් ද යන්න ගැටලු‍ සහගතය. එය හදිසි අර්බුදයකින් මිදීමේ පළමු අදියරක් පමණි. රාජ්‍ය මූල්‍ය ශක්තිමත් කිරීම, අපනයන තරගකාරීත්වය වැඩි කිරීම, ආයතනික ප්‍රතිසංස්කරණ සහ දිගුකාලීන වර්ධනය සඳහා අවශ්‍ය පියවර තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුව පවතී. සරලව අදහසින් ගත්විට, IMF වැඩසටහන හරහා රටට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය ප්‍රතිකාරය ලබා දුන් නමුත් සෞඛ්‍ය සම්පන්න ආර්ථිකයක් පවත්වාගෙන යාම සඳහා ඉන් පසුවද නිසි විනය, ප්‍රතිසංස්කරණ සහ කළමනාකරණය අවශ්‍ය වේ. එබැවින් 2027 මාර්තුවෙන් පසු සැබෑ අභියෝගය වන්නේ IMF වැඩසටහන අවසන් කිරීම නොව, එහි ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට රැගෙන යාමයි.
තවමත් සම්පූර්ණ නොකළ අවශ්‍යතා 
IMF වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් ක්ෂණික ආර්ථික අර්බුදය පාලනය කිරීම සහ මූල්‍ය ස්ථාවරත්වය නැවත ගොඩනැගීමයි. එය රටේ ආර්ථික ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කර සංවර්ධිත ආර්ථිකයක් බවට පත් කිරීමේ අවසාන විසඳුමක් නොවේ. එබැවින් IMF වැඩසටහනෙන් ලැබුණු ස්ථාවරත්වය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පරිවර්තනය කිරීම ශ්‍රී ලංකාවේම වගකීමකි.
එහෙත් තිරසාර ආර්ථිකයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය මූලික ප්‍රතිසංස්කරණ රැසක් තවමත් සම්පූර්ණ වී නොමැති බව පැහැදිලි වේ. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම, බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, රාජ්‍ය වියදම් පාලනය කිරීම, දූෂණය අවම කිරීම සඳහා ආයතනික පද්ධති ශක්තිමත් කිරීම සහ අපනයන වර්ධනයට හිතකර වෙළෙඳ පරිසරයක් නිර්මාණය කිරීම වැනි කාර්යයන් තවදුරටත් අවධානයට ලක් කළ යුතුව ඇත. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම මඟින් ශ්‍රී ලංකාවට තාවකාලික සහනයක් ලැබුණද, ඉදිරි වසරවලදී නැවතත් ණය සේවා ගෙවීම් ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇත. ඒබැවින් ඒ සඳහා ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩනැගීම සහ ආදායම් උත්පාදනය කරන ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වේ.
ඒ අනුව IMF වැඩසටහන අවසන් වීම පමණක් ආර්ථික ජයග්‍රහණයක් ලෙස සැලකීම අවදානම් සහගත බව තේරුම් ගත යුතු වේ. සැබෑ ජයග්‍රහණය වන්නේ අර්බුදයට හේතු වූ මූලික දුර්වලතා හඳුනාගෙන, ඒවා නිවැරදි කරමින් නැවතත් එවැනි ආර්ථික අර්බුදයකට රට නොවැටෙන පරිදි ශක්තිමත් පද්ධතියක් ගොඩනැගීමයි.
ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති ප්‍රධාන මාර්ග දෙක
2027 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවට ගත අනුගමනය කළ හැකි ප්‍රධාන මාවත් පිළිබඳව අවධානය යොමු කිරීමේදී, ප්‍රධාන විකල්ප දෙකක් හදුනාගත හැකි වේ. ඉන් එක් මාර්ගයක් වන්නේ IMF වෙතින් නැවතත් මූල්‍ය සහායක් ලබාගැනීමයි. අනෙක් මාර්ගය වන්නේ IMF ණය මත නොරැදී, ප්‍රතිපත්තිමය සහ ආයතනික හවුල්කාරීත්වයක් ලෙස IMF සමග ඉදිරියට ගමන් කිරීමයි.
පළමු මාර්ගය- නැවතත් IMF ණය වැඩසටහන වෙත යොමු වීම
2027න් පසු නැවතත් ශ්‍රී ලංකාවට IMF මූල්‍ය වැඩසටහන වෙත යොමු වී ඔවුන්ගේ සහාය ලබා ගැනීමට හැකියාව පවතී. විශේෂයෙන්ම විදේශ විනිමය හිඟයක් ඇති වුවහොත්, ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත්, අපනයන ආදායම් පහළ ගියහොත් හෝ බාහිර මූල්‍ය පරතරයක් ඇති වුවහොත්, නැවත IMF මූල්‍ය සහාය අවශ්‍ය විය හැකිය. මෙවැනි තත්වයට මුහුණ දුන් රටවල් කිහිපයක්ම මෑතකදී නව IMF මූල්‍ය වැඩසටහනෙන් උපකාර ලබාගෙන ඇත. උදාහරණයක් ලෙස, යුක්රේනය යුද තත්වය මධ්‍යයේ ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ප්‍රතිසාධන ක්‍රියාවලිය සඳහා 2025දී ඇමෙරිකානු ඩොලර් බිලියන 8.1ක වටිනාකමකින් යුත් වසර හතරකExtended Fund Facility (EFF) වැඩසටහනක් ලබා ගන්නා ලදී. එය අර්බුදකාරී තත්වයකදී ආර්ථිකයට අවශ්‍ය හදිසි මූල්‍ය ආධාර ලබාදීම සදහා ප්‍රධාන උදාහරණයකි.
එමෙන්ම ආර්ජන්ටිනාව දිගුකාලීන මූල්‍ය අසමතුලිතතා, උද්ධමනය සහ ණය ගැටලු‍ විසඳීම සඳහා 2025දී ඩොලර් බිලියන 20ක EFF වැඩසටහනකට යොමු විය. බොලීවියාවද දශක ගණනාවක් පුරා මුහුණ දුන් දැඩි ආර්ථික අර්බුදයකට ප්‍රතිචාර ලෙස නව මූල්‍ය වැඩසටහනක් සඳහා IMF සමග එකඟතාවකට පැමිණියේය. පාකිස්ථානයද අඛණ්ඩ විදේශ විනිමය පීඩනය සහ මූල්‍ය අභියෝග හේතුවෙන් IMF වැඩසටහනක් යටතේ ඉදිරියට ගමන් කරමින් සිටී. මෙම උදාහරණ මගින් පෙන්වා දෙන්නේ, රටක් තවමත් මූල්‍ය අර්බුදයක සිටින විට හෝ විශාල බාහිර මූල්‍ය අවශ්‍යතාවක් පවතින විට IMF මූල්‍ය පහසුකම් අත්‍යවශ්‍ය විය හැකි බවයි.
කෙසේ වෙතත්, නැවතත් IMF ණය මත පමණක් රඳා සිටීම ශ්‍රී ලංකාවට දිගුකාලීන විසඳුමක් ලෙස දැක්විය නොහැක. එය අර්බුදයක් ඇති වූ සෑම අවස්ථාවකම බාහිර මූල්‍ය ආධාර සොයන පැරණි චක්‍රය නැවත ආරම්භ කිරීමේ අවදානමක් ගෙන එයි. IMF ණය යනු රෝග ලක්ෂණ පාලනය කරන ප්‍රතිකාරයක් පමණක් වන අතර, රෝගයට මූලික හේතු වන ආර්ථික දුර්වලතා නිවැරදි කිරීම සඳහා රට තුළම ප්‍රතිසංස්කරණ සිදු කිරීම අවශ්‍ය වේ.
දෙවන මාර්ගය: IMF සමග ප්‍රතිපත්ති හවුල්කාරීත්වයක් ඇති කර ගැනීම
ශ්‍රී ලංකාවට වඩා සුදුසු විකල්පයක් විය හැක්කේ වත්මන් IMF වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් පසු, තවත් ණයක් ලබා ගැනීම වෙනුවට IMF සමඟ Policy Coordination Instrument (PCI) වැනි ප්‍රතිපත්ති සම්බන්ධීකරණ වැඩසටහනකට මාරුවීමයි. PCI වැඩසටහනේ විශේෂත්වය වන්නේ IMF විසින් නව මූල්‍ය පහසුකම් ලබා නොදී රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ, මූල්‍ය කළමනාකරණය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබඳව IMF තාක්ෂණික සහාය සහ නිරීක්ෂණය ලබා දීමයි.
මෙවැනි වැඩසටහනකින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රධාන වාසි පිළිබද අවධානය යොමු කිරීමේ දී, ජාත්‍යන්තර ආයෝජකයන් තුළ විශ්වාසය තහවුරු කිරීම, ප්‍රතිපත්ති අඛණ්ඩතාව පවත්වා ගැනීම, රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කිරීම, සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා තාක්ෂණික සහාය ලබා ගැනීමට හැකි වීම කැපී පෙනේ.
මේ සඳහා ඝානාව ප්‍රබල සාක්ෂි සපයයි. මන්ද ඔවුන් IMF ණය වැඩසටහන සාර්ථකව අවසන් කිරීමෙන් පසු 2026දී Policy Coordination Instrument (PCI) වැඩසටහනකට මාරු විය. එහි අරමුණ වූයේ තවත් ණයක් ලබා ගැනීම නොව, ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වාගෙන යාම සහ ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය වැඩි කිරීමයි. ඒසේම සර්බියාවද 2024දී වසර තුනක PCI වැඩසටහනකට එක් වූ අතර, එමගින් රාජ්‍ය මූල්‍ය හිඟය පාලනය කිරීම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා විශ්වාසනීය රාමුවක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලදී. 
එසේනම් ශ්‍රී ලංකාවට උචිත මාර්ගය කුමක් ද? 
ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති තේරීම සරලව “IMF සමඟ තවදුරටත් රැදී සිටිනවාද, නැද්ද?” යන ප්‍රශ්නයකට සීමා කළ නොහැක. එය රටේ වත්මන් ආර්ථික තත්වය, ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සහ අනාගත මූල්‍ය අවශ්‍යතා මත තීරණය කළ යුතු ඇත. නව IMF මූල්‍ය වැඩසටහනක් අවශ්‍ය වන රටවල් සහ IMF සමඟ ප්‍රතිපත්තිමය සම්බන්ධතාවක් පවත්වාගෙන යන රටවල් අතර පැහැදිලි වෙනසක් පවතී. යුක්රේනය වැනි රටවල් නව IMF මූල්‍ය පහසුකම් ලබාගත්තේ යුද්ධය හේතුවෙන් ඇති වූ අසාමාන්‍ය ආර්ථික පීඩනයකට මුහුණ දීමටය. එවැනි අවස්ථාවල රටක ආර්ථිකය පවත්වාගෙන යාමට සහ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා පවත්වා ගැනීමට විශාල මූල්‍ය සහායක් අවශ්‍ය වේ. එමෙන්ම ආර්ජන්ටිනාව වැනි රටවල් දිගුකාලීන මූල්‍ය අසමතුලිතතා, ඉහළ උද්ධමනය සහ ණය ගැටලු‍ හේතුවෙන් නැවතත් IMF මූල්‍ය වැඩසටහන් වෙත යොමු විය. 
එහෙත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය එම රටවල් සමග සම්පූර්ණයෙන් සමාන නොවන බව පවත්නා දත්ත විශ්ලේෂණයෙන් පැහැදිලි වේ. 2022 ආර්ථික අර්බුදයෙන් පසු IMF වැඩසටහන හරහා ශ්‍රී ලංකාව මූලික ස්ථාවරත්වයක් ලබාගෙන ඇත. උද්ධමනය පහළ ගොස් ඇති අතර, විදේශ සංචිත යම් මට්ටමකට යථා තත්වයට පත්ව ඇත, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ද සාර්ථකත්වයක් ලබා ඇත. එබැවින් අද ශ්‍රී ලංකාවේ ප්‍රධාන අභියෝගය වන්නේ හදිසි මූල්‍ය අරමුදල් ලබා ගැනීම නොව, මෙම ස්ථාවරත්වය තිරසාර ආර්ථික වර්ධනයක් බවට පරිවර්තනය කිරීමයි. මෙම තත්වය ඝානාව සමග යම් සමානකමක් දක්වයි. ඝානාව IMF මූල්‍ය වැඩසටහනක් හරහා අර්බුදයෙන් ගොඩ ඒමෙන් පසු, නැවතත් විශාල ණයක් මත රඳා නොසිට PCI වැඩසටහනකට මාරු විය. එහි අරමුණ වූයේ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව පවත්වා ගැනීම, ආයතනික විශ්වාසය ශක්තිමත් කිරීම සහ පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීමයි.
ශ්‍රී ලංකාවටද වඩාත් සුදුසු වන්නේ එවැනි මාවතක් බව පැහැදිලිය. මක් නිසාද යත් තවත් IMF ණයක් ලබා ගැනීම මගින් තාවකාලික මූල්‍ය සහනයක් ලැබිය හැකි නමුත්, එය නැවතත් ණය මත රඳාපවතින ආර්ථික රටාවකට ගෙන යාමේ අවදානමක් ඇති කරනු ඇත. ඒ අනුව IMF සමඟ ප්‍රතිපත්ති සහ ආයතනික හවුල්කාරීත්වයක් පවත්වාගෙන යාම වඩාත් යෝග්‍ය වන අතර, ඒමගින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ දිගින් දිගටම ක්‍රියාත්මක කළ හැකි වේ. එසේම විදේශීය ආයෝජකයන්ට රටේ ආර්ථික දිශානතිය පිළිබඳ විශ්වාසයක් ලබා දිය හැකි බැවින් ආයෝජන වැඩි වශයෙන් ආකර්ෂණය කිරීමත් ආයෝජන අවස්ථා පුලු‍ල් කිරීමත් ඉඩ ප්‍රස්ථාව හිමිවනු ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ අරමුණ විය යුත්තේ IMF වැඩසටහන්වලින් සම්පූර්ණයෙන් ඉවත්වීම නොව, IMF ණය මත යැපෙන රටක සිට IMF සමග සමාන හවුල්කරුවකු ලෙස කටයුතු කරන රටක් බවට පරිවර්තනය වීමයි. මෙය ආර්ථික ස්වාධීනත්වයට සහ දිගුකාලීන ස්ථාවරත්වයට වඩාත් යෝග්‍ය මාර්ගය වනු ඇත.
එසේනම් ලංකාව කළ යුත්තේ... 
2027 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ ප්‍රධාන අවධානය යොමු විය යුත්තේ දැනට ආරම්භ කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීම පිළිබඳවය. IMF වැඩසටහන මඟින් ලබා දී ඇති කාලය ශ්‍රී ලංකාවට අර්බුදයෙන් මිදීමට පමණක් නොව, නැවත එවැනි අර්බුදයක් ඇති නොවන පරිදි ශක්තිමත් ආර්ථික පදනමක් ගොඩනැගීමට භාවිත කළ යුතුව ඇත. ඒ සඳහා අපට ඇත්තේ තවත් සුලු‍ කාලයක් පමණි. එසේනම් පළමුවෙන්ම අවධානය යොමු කළ යුත්තේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කිරීම සහ රාජ්‍ය මූල්‍ය කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම පිළිබදවයි. එහි දී දිගුකාලීනව පාඩු ලබන රාජ්‍ය ආයතන හදුනාගනිමින් එම ආයතන කාර්යක්ෂම, වගකීම් සහිත සහ තරඟකාරී ආයතන බවට පත් කිරීමට අවශ්‍ය උපායමාර්ගික සැලැස්මවල් සකස් කර ක්‍රියාත්මක කිරීම සිදු කළ යුතු වේ.
මීට අමතරව රටතුළ ශක්තිමත් බදු පද්ධතියක් සහ බදු පදනමක් ඇති කිරීම අත්‍යාවශ්‍ය වේ. බදු ආදායම වැඩි කිරීම යනුවෙන් ජනතාව මත අමතර බරක් පැටවීම අදහස් නොවන අතර සාධාරණ බදු පද්ධතියක් නිර්මාණය කරමින්, බදු පරිපාලනය කාර්යක්ෂම කිරීම, බදු පදනම පුළුල් කිරීම සහ බදු වංචා අවම කිරීම අදහස් වේ. මන්ද ශක්තිමත් රාජ්‍ය ආදායමක් නොමැතිව අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යටිතල පහසුකම් සඳහා දිගුකාලීන ආයෝජන සඳහා අවධානය යොමු කළ නොහැකි බැවිනි. එසේම, ශ්‍රී ලංකාව විදේශ විනිමය උපයන ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම පිළිබද විශේෂ අවධානයක් යොමු කළ යුතු වේ. ඒ සඳහා සාම්ප්‍රදායික අපනයන වන තේ, ඇඟලු‍ම් සහ විදේශ ප්‍රේෂණ මත පමණක් රඳා නොසිට, නව තාක්ෂණ, ඖෂධ, ඩිජිටල් සේවා, උසස් නිෂ්පාදන සහ අගය එකතු කළ කර්මාන්ත වෙත ගමන් කළ යුතුය. ඒ හරහා ශක්තිමත් විදේශ සංචිතයක් ගොඩනැගීමට අවශ්‍ය පදනම සකස් කළ හැකි වේ.
එමෙන්ම රාජ්‍ය පරිපාලනය සහ දූෂණ මර්දනය ආර්ථික ප්‍රතිසංස්කරණයේ මූලික කොටස් විය යුතු අතර විනිවිදභාවයෙන් යුතු රාජ්‍ය සේවයක් සහ ආයෝජන හිතකාමී නීතිමය පරිසරයක් නිර්මාණය කිරීමට අවධානය යොමු කළ යුතු වේ. මන්ද දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය දිනාගත හැකි එකම ක්‍රමවේදය වනුයේ ආයෝජන හිතකාමී සහ ස්ථාවර නෛතික රාමුවක් පවත්වාගෙන යාමයි. මේ අනුව පැහැදිලි වනුයේ, IMF හරහා කළ හැක්කේ රටකට නිවැරදි මාර්ගය පෙන්වා දීම සහ එම ගමන සඳහා අවශ්‍ය රාමුව ලබා දීම පමණක් බවය. ඉන් ඔබ්බට ගොස් එම මාර්ගයේ සාර්ථකව ගමන් කිරීමේ වගකීම ඇත්තේ ශ්‍රී ලංකාවටමය. ඒ අනුව සැබෑ ආර්ථික ස්වාධීනත්වය ලැබෙන්නේ තවත් ණයක් ලබා ගැනීමෙන් නොව, නිවැරදි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් සහ ශක්තිමත් ආර්ථික පදනමක් ගොඩනැගීමෙන් බව පැහැදිලි වී හමාරය. ඒ සදහා PCI වැනි රාමුවකට ගමන් කිරීම වඩාත් සුදුසු වන අතර එමගින් රටට අමතර ණය බරක් එකතු නොකර, ප්‍රතිසංස්කරණවල අඛණ්ඩතාව පවත්වා ගැනීමට, ජාත්‍යන්තර විශ්වාසය තහවුරු කිරීමට සහ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව ස්ථාවර හා වගකීම් සහිත ආර්ථිකයක් බව පෙන්වීමට හැකි වනු ඇත.
එසේම අප තරයේ මතක තබා ගත යුතු වන්නේ IMF වැඩසටහන ශ්‍රී ලංකාවට ලබා දුන්නේ අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය අවස්ථාවක් පමණක් වන අතර එය ජීවිතාරක්ෂක ආධාරයක් මෙන් රටට ආර්ථික ආගාධයකට වැටුණු අවස්ථාවක අතක් දිගු කළේය. එහෙත් අප සැබෑ අරමුණ විය යුත්තේ එම අත සදාකාලිකව අල්ලාගෙන සිටීම නොව, එම සහායෙන් ශක්තිය ලබාගෙන ස්වයංපෝෂිතව ඉදිරියට ගමන් කිරීමයි. එනම් 2027න් පසු අපගේ ඉලක්කය විය යුත්තේ ගැලවීම සොයන රටක සිට, විශ්වාසය ගොඩනගන රටක් බවට පරිවර්තනය වීමයි.

 



අදහස් (0)

IMF දීගය අවසන් වෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site