IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


Hatch Fund Singapore, ගෝලීයව ව්‍යාප්ත වන Cultive8 හි ප්‍රථම ආයෝජනය සිදු කරයි

ශ්‍රී ලංකාවේ ආරම්භ වී, කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින කෘෂි තාක්ෂණික නැගී එන ව්‍යාපාරයක් වන Cultive8 ආයතනය සඳහා සහාය දක්වමින් සිය පළමු ආයෝජනය සිදු කළ බව Hatch Fund Singapore නිවේදනය කර ඇත.
නවක ව්‍යාපාර සඳහා සහයෝගයෙන් වැඩ කළ හැකි කාර්යාල අවකාශ, ව්‍යාපාර උපදේශනය, පුහුණුව, හවුල්කාරිත්ව සහ ව්‍යාපාර අරමුදල් ලබාදීමෙන් Hatch ලංකාවේ නැගී එන ව්‍යාපාර සහ නවෝත්පාදන අවකාශයේ කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරයි. මෙම සුවිශේෂී ආයෝජනය, දකුණු ආසියාවෙන් බිහිවන සාර්ථකත්වයේ ඉහළටම ගමන් කිරීමේ හැකියාව ඇති නැගී එන ව්‍යාපාර හඳුනාගෙන ඒවා ගෝලීය වෙළෙඳපොළ කරා ගෙන යාමට Hatch සිදු කරන කැපවීම මනාව පිළිබිඹු කරයි.
මින් පෙර ලංකාවේ Agrithmics ලෙස හැඳින්වූ Cultive8 හි මූලස්ථානය සිංගප්පූරුවේ පිහිටා ඇති අතර ලංකාව, ඉන්දියාව සහ බංග්ලාදේශය පුරා එහි මෙහෙයුම් කණ්ඩායම් ක්‍රියාත්මක වේ. මෙම සමාගම දකුණු ආසියාව පුරා විශාල සහ මධ්‍යම පරිමාණ වතු සහ සැකසුම් සමාගම් සඳහා ස්වයංක්‍රීයකරණය, ERP සහ මූල්‍ය තාක්ෂණ විසඳුම් සපයන ප්‍රමුඛතම ආයතනයක් වේ. Cultive8 විදුලි සංදේශ, කෘෂිකර්මාන්තය සහ කර්මාන්ත වැනි අංශවල ප්‍රසිද්ධ සමාගම් සමග කටයුතු කරන අතර, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සිය මෙහෙයුම් අඛණ්ඩව වර්ධනය කරයි. Cultive8 සමාගම, කෘෂිකාර්මික අංශය කෙරෙහි පමණක් අවධානය යොමු කරන අතර මෙම කර්මාන්තය මුහුණ දෙන ප්‍රධාන ගැටලු‍ විසඳීම සඳහා AI සහ IoT තාක්ෂණය පදනම් කරගත් විසඳුම් ලබා දෙයි.
Cultive8 හි නිර්මාතෘ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රශාන්ත් ප්‍රේමකුමාර් මහතා මෙසේ පැවසීය. “Cultive8 හරහා කලාපයේ වතු සහ කෘෂිකාර්මික අංශය ඉහළ නැංවීමට අපි කැපවී සිටිනවා. Hatch Global වෙතින් ලැබුණු මෙම ආයෝජනය සමගින් ලාංකීය තාක්ෂණය ආසියානු වෙළෙඳපොළ සහ ඉන් ඔබ්බට ගෙන යාමට අපි සූදානම්. අපගේ අඛණ්ඩ පර් යේෂණ සහ සංවර්ධන කටයුතු නිෂ්පාදනයේ සිට බෙදා හැරීම දක්වා කෘෂිකාර්මික කර්මාන්තයේ විවිධ අවස්ථාවලදී මුහුණ දෙන බොහෝ වැදගත් ගැටලු‍ විසඳීමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරනවා.”‍ 
මෙම ගනුදෙනුව හරහා Hatch Fund Singapore විසින් ඇමෙරිකානු ඩොලර් 650,000ක පමණ මුදලක් ආයෝජනය කරනු ලබන අතර, එමගින් Cultive8 හි ප්‍රාග්ධන ව්‍යුහයෙහි ඇතැම් කොටස් ක්‍රමවත් කිරීමටත්, එහි කලාපීය සහ ජාත්‍යන්තර ව්‍යාප්තිය වේගවත් කිරීමට සහාය වීම සඳහාත් නව අරමුදල් සපයයි. ප්‍රාග්ධනයෙන් ඔබ්බට, Cultive8 හට Hatch හි ගෝලීය ඇක්සලරේටර් වේදිකාවට ප්‍රවේශය ලැබෙනු ඇති අතර, එය අනුප්‍රාප්තික අරමුදල් රැස් කිරීම, උපායමාර්ගික හවුල්කාරිත්ව සහ වෙළෙඳපොළට පිවිසීම හරහා ආරම්භක අවධියේ සමාගම්වලට සහාය වේ. තවද Hatch සතුව ශක්තිමත් සබඳතා පවතින සිංගප්පූරුව, ජපානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල වෙළෙඳපොළවල් වෙත ප්‍රවේශ වීමේ සුවිශේෂී අවස්ථාව ද මේ තුළින් හිමිවේ. 
Hatch Fund Singapore යනු දකුණු ආසියාවේ නැගී එන නව තාක්ෂණික සහ තාක්ෂණය භාවිත කරන ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරන ඇමෙරිකානු ඩොලර් මිලියන 20ක ආයෝජන අරමුදලකි. මෙම ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් Hatch සහ Hatch Fund හි සම නිර්මාතෘ ජීවන් ඥානම් මහතා මෙසේ පැවසීය. 
“ලංකාවෙන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වන නව ව්‍යාපාර බිහිවීම ධනාත්මක ලකුණක්. අර්බුදයෙන් පසු ලංකාවේ වැඩිදියුණු වන ආර්ථික තත්වය මෙම වර්ධනයට සහාය වන බව මම විශ්වාස කරනවා. දේශීය වෙළෙඳපොළේ සාර්ථකත්වයෙන් ඔබ්බට ගොස් ගෝලීය මට්ටමට පිවිසෙන මෙවැනි ආයතන හඳුනාගෙන ඔවුන්ට සහාය වීමට Hatch Fund සූදානමින් සිටිනවා.”‍



අදහස් (0)

Hatch Fund Singapore, ගෝලීයව ව්‍යාප්ත වන Cultive8 හි ප්‍රථම ආයෝජනය සිදු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site