HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් (HNBGI) සමාගම සිය නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තනතුර (COO) සඳහා ඩිල්ෂාන් පෙරේරා මහතා පත් කළ බව නිවේදනය කර සිටියි. ඩිල්ෂාන් පෙරේරා මහතා මෙම පත්වීමට පෙර HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ ප්‍රධාන පරිවර්තන නිලධාරී (Chief Transformation Officer) තනතුර දැරූ අතර, නව තාක්ෂණය සහ පාරිභෝගික කේන්ද්‍රීය උපාය මාර්ගවල එකතුව හරහා සමාගම අනාගතයට සූදානම් රක්ෂණ ආයතනයක් බවට පරිවර්තනය කිරීමට සුවිශේෂී කාර්යභාරයක් ඉටකර ඇත. HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් කළ මෙම පත්වීම ක්ෂේත්‍රයට අදාළව සිය උපායමාර්ගික පරිවර්තනය ඉදිරියට ගෙන යාම සඳහා සමාගම දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරන්නකි.
ජ්‍යෙෂ්ඨ කළමනාකරණ නිලධාරියෙක් වශයෙන් වසර 20 කට වඩා වැඩි අත්දැකීම් ඇති ඩිල්ෂාන් පෙරේරා මහතා ජීවිත රක්ෂණ, සාමාන්‍ය රක්ෂණ, විදුලි සංදේශ, පාරිභෝගික බැංකුකරණය වැනි විවිධ ක්ෂේත්‍රවල නායකත්ව තනතුරු හොබවා ඇත. එම කාලය පුරාවටම උපායමාර්ගික කළමනාකරණය, ඩිජිටල් පරිවර්තනය, අලෙවිකරණය සහ සන්නාම කළමනාකරණය, විකුණුම් කළමනාකරණය, ව්‍යාපාර සංවර්ධනය, පාරිභෝගික අත්දැකීම් කළමනාකරණය වැනි විවිධ අංශවල සේවය කරමින් ලැබූ පරිපූර්ණ අත්දැකීම් සම්භාරයක් ඔහු සතුය.
ඩිල්ෂාන් පෙරේරා මහතා HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම හා සම්බන්ධ වීමට පෙර ඩයලොග් ආසියාටා සමාගමේ ඩිජිටල් රක්ෂණ සේවා ප්‍රධානී ලෙස කටයුතු කළ අතර, HNB ඇෂුවරන්ස් සමාගමේ අලෙවි ප්‍රධානී ලෙස ද කටයුතු කර ඇත. මීට අමතරවDFCC බැංකුව සහ සෙලින්කෝ ලයිෆ් යන ආයතනවල ද කළමනාකාරීත්ව තනතුරු හොබවා ඇති ඒ මහතා සෙසු රටවල් හා සසඳන කල ශ්‍රී ලංකාවේ ප්‍රථම රක්ෂණ ප්‍රතිපත්ති සැසඳුම් වේදිකාව වන InsureMe.lk හි සම-නිර්මාතෘවරයෙක් වේ.
ඩිල්ෂාන් පෙරේරා මහතා එක්සත් රාජධානියේ වරලත් අලෙවිකරණ ආයතනයේ සාමාජිකයකු (FCIM – UK) වන අතර, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ (SLIM) යාවජීව සාමාජිකයකු ද, ශ්‍රී ලංකා කළමනාකරණ ආයතනයේ සාමාජිකයකු ද වෙයි. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් (PIM) ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධියක් (MBA) ලබා ඇති අතර, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණ (අලෙවිකරණ) විශේෂ උපාධියක් සහ එක්සත් රාජධානියේ CIM ආයතනයෙන් අලෙවිකරණය පිළිබඳ වෘත්තීය පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත. එමෙන්ම ඔහු ඇමරිකාවේ LIMRA International ආයතනය හරහා පවත්වන ‘Agency Management Training Course (AMTC)’ පාඨමාලාව ද හදාරා ඇත. කඳාන ද මැසනොද් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන පෙරේරා මහතා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතන කිහිපයක බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරයි.
HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් නව ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ෂාන් පෙරේරා