
HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා බ්‍රැකන් සම්මානය අතැතිව
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාව වෙතින් 2025 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙස බ්‍රැකන් සම්මානයෙන් පිදුම් ලැබුවේය.
HNBහට මෙම ගෞරවනීයි ‘’The Banker’’ සම්මානය ලබා දෙනු ලැබුවේ බැංකුවේ ශක්තිමත් කාර්යසාධනය සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම ස්ථාවර සහ ඉදිරි දැක්මක් ඇති මූල්‍ය ආයතනයක් ලෙස එහි කීර්ති නාමය ඇගයීමට ලක් කරමින් වීම විශේෂත්වයකි.
ද බෑන්කර් සඟරාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම සම්මාන උළෙලේදී ලොව පුරා පිහිටි බැංකුවල ශක්තිය, නවෝත්පාදනය, පාලනය සහ දිගුකාලීන උපාය මාර්ග යන නිර්ණායක මත පදනම්ව ඇගයීමට ලක් කරනු ලබයි. අභියෝගාත්මක ව්‍යාපාරික තත්ව මධ්‍යයේ වුවද, බැංකුව සිය ශේෂ පත්‍රය වර්ධනය කරගැනීම, පාරිභෝගික සේවා ශක්තිමත් කිරීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම ආදියෙන් වසරකට පසුව HNB ඇගයීම හිමි කරගැනීම කැපී පෙනේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කළේ “මෙම සම්මානය මගින් රට නැවත යථා තත්වයට පත් වීමට සහ දිගුකාලීන වර්ධනයට සහාය වන බැංකුවක් ලෙස අප ලබා ඇති ප්‍රගතිය පෙන්නුම් කරනවා. ඒවගේම ශක්තිමත් හා ස්ථාවර ශේෂ පත්‍රයක් පවත්වා ගැනීම, අපගේ සේවාවල විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සහ පාරිභෝගිකයන්ට විශ්වාසයෙන් යුතුව ඉදිරියට යාමට හැකි වන පරිදි අපගේ ඩිජිටල් සහ උපදේශන සේවා පුළුල් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා. අපගේ මෙම සෑම ජයග්‍රහණක්ම අපගේ කණ්ඩායම්වල මනා සංයමය මෙන්ම අපගේ පාරිභෝගිකයන් සහ හවුල්කරුවන් අප කෙරෙහි තබා ඇති විශ්වාසයේ ප්‍රතිඵලයක්.”
මෙම සුවිශේෂී සම්මානය හිමිවන්නේ ශක්තිමත් ප්‍රාග්ධනය සහ ද්‍රවශීලතාව, වත්කම්වල ඉහළ ගුණාත්මකභාවය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමඟ වන ව්‍යාපාරික කටයුතුවල වර්ධනය සහ එදිනෙදා බැංකු ගනුදෙනුවල ක්‍රියාකාරීත්වයේ වර්ධනය මෙන්ම බැංකුවේ ඩිජිටල් වේදිකා භාවිතය ඉහළ යාම වැනි වැදගත් ඉලක්ක රැසක් කරා ළඟා වූ වසරක් අවසානයේ වීම මෙහිදී විශේෂයෙන් කැපී පෙනේ. මෙම වසරේ ලබා ගත් තවත් වැදගත් ජයග්‍රහණයක් වූයේ HNB හි ඉතිරි සියයට 50ක කොටස් සාර්ථකව අත්පත් කරගැනීමයි. එමගින් ආයෝජන බැංකුකරණ හැකියාව වර්ධනය කිරීමට HNB පෙන්නුම් කරයි. තවද ව්‍යුහගත ණය, උපදේශන සේවාවලට අමතරව තරගකාරිත්වය සහ මූල්‍ය අන්තර්ගතභාවය වැඩිදියුණු කිරීමට උපකාරී වන හවුල්කාරිත්ව හරහා HNB වැදගත් ආර්ථික අංශවලට ද සහාය විය.
අභ්‍යන්තර ක්‍රියාවලි යාවත්කාලීන කිරීම, තීරණ ගැනීම සඳහා දත්ත වඩාත් ඵලදායී ලෙස භාවිත කිරීම මෙන්ම එහි පාරිභෝගික ඒකක හා ඩිජිටල් සේවා හරහා පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කිරීම ආදිය මගින් HNB සිය මෙහෙයුම් තව තවත් ශක්තිමත් කර ඇත- මෙම ක්‍රියාමාර්ග බැංකුවට වඩාත් ස්ථාවර කාර්යසාධනයක් අත්කර ගැනීමට සහ අනාගත වර්ධනය සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීමට උපකාරී වී ඇත.
HNB “2025 ශ්‍රී ලංකාවේ වසරේ බැංකුව” සම්මානයට පාත්‍ර වෙයි