IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


CIC සමූහය විජලනය කළ පලතුරු එළවළු අපනයනයට අවස්ථා සොයයි

අඩු ග්ලයිසෙමික් දර්ශකයක් සහිත සහල් අපනයනයටද අවධානය


භානුක අමරසිංහ


මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන CIC Holdings PLC  සමූහය සිය කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය සඳහා අවස්ථා සොයමින් සිටින බව පවසයි. ඒ අනුව සමාගම යටතේ ක්‍රියාත්මක ගොවි බිම් සහ හරිතාගාර තුළ නිපදවන එළවළු සහ පලතුරු විජලනය කර සිය සන්නාමය යටතේ අපනයනය කිරීම සඳහා හැකියාව පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බව එම සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. සේරසිංහ මහතා පවසයි.
2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන එම සමුහයෙහි වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. “අපනයන වෙළෙඳ පොළ වෙත පිවිසීමේ අපේ ඉදිරි සැලසුම යටතේ CIC සන්නාමය සහිත විජලනය කළ එළවළු සහ පලතුරු අපනයනය කිරීමට අවධානය යොමු කර තිබෙනවා.“ 
 “කෙසේ නමුත් මෙම කටයුතු සඳහා අවශ්‍ය භූමිය සහ සේවක හිඟතාව ප්‍රධානතම අභියෝගයක්. ඒ වගේම විදේශ රටවල පවතින ලියාපදිංචි කිරීම් සම්බන්ධ දැඩි සීමා හේතුවෙනුත් එම කටයුතු තවදුරටත් පමා වී තිබෙනවා.“ ඔහු පෙන්වා දෙයි.
මේ අතර දැනටමත් ඉන්දියාව සමගින් ඇති කරගත් හවුල්කාරීත්වයක් යටතේ ඉහළ කාර්යසාධනයක් සහිත දේශීය දෙමුහුන් බීජ ඉන්දියාව වෙත අපනයනය කිරීම ආරම්භ කර ඇතැයිද සේරසිංහ මහතා සඳහන් කරයි. 
මෙම වාර්ෂික වාර්තාව වෙත අදහස් දක්වන සමාගමේ සභාපති හර්ෂ අමරසේකර මහතා, මේ වනවිටත් සිය සමාගම නිපදවන සහල් අපනයනයටද අදහස් කරගෙන සිටින බව පවසයි. එහිදී අඩු ග්ලයිසෙමික් දර්ශකයක් සහිත කෙරෙහි අවධානය යොමුව තිබේ. “බොහෝ රටවල පාරිභෝගිකයන් සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් වෙත යොමු වෙමින් සිටින නිසා මෙම අඩු ග්ලයිසෙමික් දර්ශකයක් සහිත සහල් වෙත වන ඉල්ලු‍ම ඉහළ බව විශ්වාසයි.“ 
මෙරට තුළ නිෂ්පාදනය කරන සහල් අතරින් අඩු ග්ලයිසෙමික් දර්ශකයක් අඩු සහල් වර්ග ලෙස බාස්මති (50-58), කළු හීනටි (55 ට අඩු ) සහ පච්චපෙරුමාල් (40ට අඩු) හඳුනාගෙන ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ වාර්තාවකද සඳහන් වෙයි. 



අදහස් (0)

CIC සමූහය විජලනය කළ පලතුරු එළවළු අපනයනයට අවස්ථා සොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site