IMG-LOGO

2026 නොවැම්බර් මස 27 වන සිකුරාදා


CIC Holdings බදු පසු ලාබය සියයට 16.7කින් රුපියල් බිලියන 3.79 දක්වා වර්ධනය කරගනී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන CIC Holdings, 2026/27 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධය සඳහා රු- බිලියන 42.91ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කර ඇත. අදාළ මූල්‍ය වර්ෂයේ දෙවැනි කාර්තුවේ සිට තෙවන කාර්තුව දක්වා කෘෂි අංශයේ ව්‍යාපාරික කටයුතු වෙනස් වීමේ පසුබිමක් තුළ වුවද, සමූහය සියයට 3.06ක ස්ථාවර ආදායම් වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව තිබේ. 
ඒ අනුව, පසුගිය වසරේ එම කාල සීමාවේ වාර්තා කළ රුපියල් බිලියන 3.25ට සාපේක්ෂව සමූහයේ බදු පසු ලාබය (PAT) සියයට 16.72කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.79ක් දක්වා ශක්තිමත් ලෙස වර්ධනය වී ඇත. සාර්ථක මෙහෙයුම් ක්‍රියාකාරිත්වය, ලාබ ආන්තිකයන් වර්ධනය වීම මෙන්ම කොටස් ගිණුම්ගත ආයෝජන ආයතනවලින් (Equity-Accounted Investees) ලැබුණු ඉහළ ඉපැයීම් සමූහයේ මෙම සාර්ථකත්වයට හේතු වී තිබේ.


CIC සමූහයේ මෙහෙයුම් ලාබය (EBIT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 2.65කින් වර්ධනය වී රුපියල් බිලියන 5.86ක් වූ අතර, බදු පෙර ලාබය (PBT) පසුගිය වසරට සාපේක්ෂව සියයට 8.26කින් ඉහළ ගොස් රුපියල් බිලියන 5.35ක් විය. සමාලෝචනයට ලක් කරන ලද අදාළ කාල සීමාව තුළ සමූහයේ ප්‍රධානතම ආදායම් අංශය ලෙස කෘෂි විසඳුම් අංශය (Agri Solutions) තවදුරටත් සිය ස්ථානය තහවුරු කර ගත් අතර එය එම අංශයේ සමස්ත දළ ආදායමෙන් සියයට 40.18ක පමණ ප්‍රමාණයක් නියෝජනය කරයි. එමෙන්ම, සත්ව නිෂ්පාදන විසඳුම් (Livestock Solutions) සහ සුව සේවා හා පෞද්ගලික සත්කාර යන අංශ පිළිවෙළින් සියයට 24.29ක සහ සියයට 23.08ක පමණ දායකත්වයක් ලබා දුන් අතර, කාර්මික විසඳුම් අංශය (Industrial Solutions) සමස්ත දළ ආදායමෙන් සියයට 12.45ක් නියෝජනය කළේය.
විධිමත් මිලකරණ උපායමාර්ග සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවේ සහාය ඇතිව දළ ලාබය රුපියල් බිලියන 11.69ක් දක්වා ඉහළ ගියේය. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.36ක වර්ධනයකි. දළ ලාභාන්තිකය ද සියයට 27.25ක් දක්වා වර්ධනය වී ඇති අතර, එමගින් සමූහයේ ලාබදායීත්වය ශක්තිමත්ව පවත්වා ගැනීමේ හැකියාව මනාව පෙන්නුම් කරයි. වර්ෂාපතනය ප්‍රමාද වීම හේතුවෙන් වගා කන්නය ප්‍රමාද වුවද, සාමාන්‍යයෙන් අඩු ක්‍රියාකාරීත්වයක් පවතින සමූහයේ දෙවැනි කාර්තුවේදී මෙවැනි ශක්තිමත් කාර්යසාධනයක් වාර්තා කිරීමට හැකි වීම විශේෂත්වයකි. මෙය CIC සමූහයේ ස්ථාවර මෙහෙයුම් ක්‍රියාවලිය සහ විවිධාංගීකරණය වූ ආදායම් ශක්තිය මනාව පෙන්නුම් කරයි.
සමාලෝචනයට ලක් කරන ලද කාල සීමාවේ සමූහයේ සියලු‍ම ප්‍රධාන මෙහෙයුම් අංශ ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව ඇත. ඒ අනුව ඉහළ ආදායම් වර්ධනයක් වාර්තා කළ කාර්මික විසඳුම් අංශයේ ආදායම සියයට 34.91කින් ඉහළ ගොස් රු. බිලියන 5.43ක් විය. සත්ව නිෂ්පාදන විසඳුම් අංශය සියයට 11.87ක ආදායම් වර්ධනයක් සමගින් රුපියල් බිලියන 10.59ක ආදායමක් වාර්තා කර ඇති අතර සුව සේවා හා පෞද්ගලික සත්කාර අංශයේ ආදායම සියයට 6.40කින් ඉහළ ගොස් රුපියල් බිලියන 10.05ක් වී ඇත. මේ අතර කෘෂි විසඳුම් අංශය සමූහයේ සමස්ත අංශවල ආදායමට රුපියල් බිලියන 17.51කින් දායක විය.
ලාබදායීත්වය සැලකීමේදී, සත්ව නිෂ්පාදන විසඳුම් අංශය පසුගිය වසරට සාපේක්ෂව සියයට 30.86ක ශක්තිමත් ලාබ වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 1.52ක් වාර්තා කර ඇති අතර, කාර්මික විසඳුම් අංශය පසුගිය වසරට සාපේක්ෂව ලාබය සියයට 47.37කින් රුපියල් බිලියන 1.02ක් දක්වා වර්ධනය කරගෙන ඇත. සුව සේවා හා පෞද්ගලික සත්කාර අංශය පසුගිය වසරට සාපේක්ෂව සිය ලාබය සියයට 10.02කින් වර්ධනය කරගනිමින් රුපියල් බිලියන 1.43ක් වාර්තා කළ අතර, කෘෂි විසඳුම් අංශය පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.63ක ලාබයක් වාර්තා කර ඇත. සමස්තයක් ලෙස, සමූහයේ ප්‍රධාන ව්‍යාපාරික අංශ මගින් රුපියල් බිලියන 5.60 ක සමස්ත ලාබයක් වාර්තා කර ඇති අතර, එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 3.85 ක වර්ධනයකි. CIC සමූහයේ සියලු‍ම ප්‍රධාන මෙහෙයුම් අංශ හරහා ශක්තිමත් සහ ස්ථාවර ආදායම් වර්ධනයක් පවත්වා ගැනීමට සමත්ව ඇති බව මෙමගින් තවදුරටත් තහවුරු වේ.


කොටස් බෙදීමෙන් පසු, සමූහයේ මූලික කොටසකට ලැබෙන ඉපැයීම් (EPS) රුපියල් 1.37 සිට රුපියල් 1.67 දක්වා ඉහළ ගොස් තිබේ. කොටස් හිමියන්ට හිමි වන ශුද්ධ ලාබය ඉහළ යාමට සාපේක්ෂව වාර්තා වූ මෙම අගය, පසුගිය වසරට සාපේක්ෂව සියයට 21.90ක කැපී පෙනෙන වර්ධනයකි. සමූහයේ ශේෂ පත්‍රය සැලකිය යුතු ලෙස වර්ධනය වීමත් සමග 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු අර්ධයේදී රුපියල් බිලියන 98.63ක්ව පැවති සමූහයේ සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 108.58ක් දක්වා වර්ධනය වීම විශේෂයෙන් කැපී පෙනේ. එමෙන්ම සමූහයේ මුළු හිමිකම් ප්‍රමාණය ද රුපියල් බිලියන 56.46ක් දක්වා ශක්තිමත් වී ඇත.
මෙම මූල්‍ය ප්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් CIC Holdings සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී අරෝෂන් සේරසිංහ මහතා මෙසේ පැවසුවේය. “මෙම මූල්‍ය ප්‍රතිඵල තුළින් අපගේ ව්‍යාපාරික ආකෘතිය සතු ශක්තිය මෙන්ම ප්‍රධාන අංශ පුරා විහිදුණු අපගේ කණ්ඩායම්වල ඉලක්කගත කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. කෘෂි, සුව සේවා, සත්ව නිෂ්පාදන සහ කාර්මික විසඳුම් යන අපගේ ප්‍රධාන මෙහෙයුම් අංශ තවදුරටත් ශක්තිමත් කිරීමෙන්, අභියෝගාත්මක ආර්ථික තත්ව හමුවේ වුවද ශක්තිමත් ලාබදායීත්වයක් සහ ලාභාන්තිකයේ විධිමත් පාලනයක් පවත්වා ගැනීමට අපට හැකි වී තිබෙනවා. අත්‍යවශ්‍ය සැපයුම් දාම අඛණ්ඩව පවත්වාගෙන යාම, ඉහළ වටිනාකමක් සහිත නිෂ්පාදන පරාසය පුළුල් කිරීම සහ ජනතාවගේ ජීවනෝපාය නගා සිටුවීම සඳහා අපි ස්ථිරවම කැපවී සිටිනවා.”



අදහස් (0)

CIC Holdings බදු පසු ලාබය සියයට 16.7කින් රුපියල් බිලියන 3.79 දක්වා වර්ධනය කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site