ජාතික ජන බලවේගය රජයේ මංගල අයවැය පෙබරවාරි 17 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහි තුන්වැනි කියවීම අවසන් වූයේ මාර්තු 21 වැනි දින ජනාධිපතිවරයාගේ කතාවෙනි.
මෙම සති 4 1/2 ක කාලය තුළ පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත බොහෝ අදහස් ප්‍රකාශ වී ඇත. ඒවායින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ ආදායම් උත්පාදනය, එය වියදම් කිරීම සහ හිඟය පියවීම සඳහා වන රජයේ යෝජනා කෙරෙහි ය.
එහෙත්, ජනාධිපතිවරයා අයවැය කතාවේදී සඳහන් කළේ, “අයවැයක් යනු ඉදිරි වසර සඳහා වන ආදායම් සහ වියදම් යෝජනා සමූහයක් පමණක් නොව, එය ආර්ථිකය සහ සමස්ත ප්‍රතිපත්ති ගොඩනැගීම සඳහා වන රජයේ ප්‍රවේශයේ පිළිබිඹුවක්” යනුවෙනි. 2025 අයවැය දෙස බැලිය යුත්තේ මෙම දෘෂ්ටිකෝණයෙනි. අයවැයේ දක්වා ඇති අපේක්ෂා සහ යෝජනාවලින් පිළිබිඹු වන්නේ ආර්ථිකය සහ සමස්ත ප්‍රතිපත්තිය ගොඩනැගීම සඳහා රජයේ ප්‍රවේශයයි.
අපේක්ෂා බහුල වීම
අයවැය තුළ අපේක්ෂා බහුලය. මෙම අපේක්ෂා “මධ්‍ය කාලීන සාර්ව ආර්ථික දිශාව” යන මාතෘකාව යටතේ දක්වා ඇත:
“මධ්‍ය කාලීනව සියයට 5කට වඩා වැඩි සැබෑ දළ දේශීය නිෂ්පාදිත වර්ධනයක් අපි අපේක්ෂා කරමු.”
“ඒ අනුව, වෙළෙඳපොළ මූලධර්ම මත පදනම් වූ මුදල් ඒකකය තවදුරටත් සැලකිය යුතු අස්ථාවරත්වයකට මුහුණ නොදෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු.”
“අපගේ පියවර හරහා ආර්ථිකයේ සැපයුම් ධාරිතාව වැඩිදියුණු කිරීමට මිල කම්පන අවම කර ගැනීමට අපි අපේක්ෂා කරමු..., සාර්ව ආර්ථික ප්‍රතිපත්ති මාවත ද ඊට සහාය වනු ඇත... ඒ අනුව, වෙළෙඳපොළ මූලිකාංග මත පදනම් වූ මුදල් ඒකකය තවදුරටත් සැලකිය යුතු අස්ථාවරත්වයකට මුහුණ නොදෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු... එහිදී 2025 වසරේදී භාණ්ඩ හා සේවා අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 19 කට ආසන්න ඉතිහාසයේ ඉහළම අගයට ළඟා වනු ඇතැයි අපි අපේක්ෂා කරමු... 2025 වන විට මෙම ප්‍රවණතාවේ ආපසු හැරීමක් දැකීමට අපි බලාපොරොත්තු වන අතර, ඉන් පසුව දරිද්‍රතාවයේ අඛණ්ඩ අඩුවීමක් දක්නට ලැබෙනු ඇත.”
“... දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ සමෘද්ධිය අත්කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ආර්ථිකයේ පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට පශ්චාත් අර්බුදකාරී අවස්ථා වඩා හොඳින් භාවිත කිරීමට අපි අපේක්ෂා කරමු.”
අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම
මෙම අපේක්ෂා සහ යෝජනා සාක්ෂාත් කර ගැනීම රඳා පවතින්නේ ප්‍රතිඵල මතය. ප්‍රතිඵල යනු ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයකි. ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුත්තේ කවුද? ඒ රාජ්‍ය අංශයයි. ජනාධිපතිවරයා රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව පිළිබඳව කිහිප වතාවක්ම සැක පහළ කර තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ: “දේශපාලන නායකයන්ගේ ඉලක්ක සහ අපේක්ෂා කෙතරම් අභිලාසකාමී වුවත්, එම ඉලක්ක සාක්ෂාත් කර ගත හැක්කේ ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා හොඳින් ව්‍යුහගත සහ ප්‍රතිචාරාත්මක රාජ්‍ය සේවයක් තිබේ නම් පමණකි” යනුවෙනි.
දෙසැම්බර් 20 වැනි දින දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුව ඇමැතූ ජනාධිපතිවරයා වත්මන් අකාර්යක්ෂමතාව සහ මහජන විශ්වාසය නොමැතිකම පිළිබඳව කනස්සල්ල පළ කළ අතර, රාජ්‍ය සේවය එහි අපේක්ෂිත අරමුණුවලින් බැහැර වී ඇති බවත්, එහි කාර්යක්ෂමතාව යථා තත්වයට පත් කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිසංස්කරණවලට භාජනය විය යුතු බවත් අවධාරණය කළේය.
එපමණක් නොව, ලෝක ව්‍යාප්ත පාලන දර්ශකයට (Worldwide Governance Index - WGI) අනුව ශ්‍රී ලංකාවේ රජයේ කාර්ය සාධනය “දුර්වල” ලෙස සලකනු ලබන අතර, රජයේ කාර්යක්ෂමතාව සෘණ 0.65 කි.
ප්‍රතිපත්ති-භාවිත පරතරය
![]() |
අයවැය විවාදය පැවැත්වෙන අතරතුර මම රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුට දුරකථන ඇමතුම් ලබාගතිමි. ඉන් සමහරකු ඊට පිළිතුරු දුන්නේ නැත. සමහරුන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල හෝ රැස්වීම්වල සිටි අතර, නැතහොත් ඔවුන් පාර්ලිමේන්තුවේ හෝ අමාත්‍යවරයා සමඟ සිටින බව පැවැසුණි. තවත් සමහරු දිවා ආහාරය ගනිමින් සිටීම හෝ විදේශගත වී සිටි නිසා සම්බන්ධ කර ගැනීමට නොහැකි වුණි. ප්‍රතිචාර දැක්වූයේ කිහිප දෙනකු පමණි. “අයවැයෙන් ඔබේ අමාත්‍යාංශයට වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දී තිබෙනවා. ඒ ගැන ඔබ සතුටු විය යුතුයි. ක්‍රියාත්මක කිරීමට බලාපෙරොත්තු වන සැලසුම් මොනවාද?” යැයි පිළිතුරු දුන් අවාසනාවන්තයන්ගෙන් මම විමසා සිටියෙමි. ඔවුන්ගේ පිළිතුර වූයේ “අපට ඉල්ලා සිටි ප්‍රමාණයට වඩා ප්‍රතිපාදන ලැබී තිබෙනවා; ඒවයින් මොනවා කරන්ඩද කියලා අපි තවමත් දන්නේ නැහැ” යන්නයි.
ප්‍රතිපත්ති සහ එහි භාවිතය අතර සෑම විටම පරතරයක් පවතී. ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා වගකිව යුතු අය ප්‍රතිපත්ති නිර්මාණකරුවන් සතුටු කිරීමට බොහෝ ක්‍රම භාවිත කරති. ඔවුහු අපේක්ෂා සහ ප්‍රාර්ථනා කරන සිතිවිලිවලින් පිරුණු ප්‍රකාශ නිකුත් කරති. අපේක්ෂා සාක්ෂාත් වුවහොත්, ඔවුහු තම දූරදර්ශීභාවය සහ විචක්ෂණශීලී ප්‍රතිපත්ති සඳහා ගෞරවය හිමිකර ගනිති. එසේ නොවුණහොත්, ඔවුහු නිදහසට කරුණු සහ පැහැදිලි කිරීම් සපයති. ඔවුන් කාර්ය සාධනය ගොතන ලද ඒවාය. එය මට පැහැදිලි කළ හැකිය.
2025 අයවැයේ ඇති යෝජනා ගණන 45 කි. පළමු යෝජනාව වන්නේ “භාණ්ඩ හා සේවා අපනයනය පුළුල් කිරීම” යි.
අයවැය කතාවේදී ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, “2025 දී භාණ්ඩ හා සේවා අපනයනය ඇමරිකානු ඩොලර් බිලියන 19 කට ආසන්න ඉතිහාසයේ ඉහළම අගයකට ළඟා වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යනුවෙනි. ජනාධිපතිවරයාගේ අපේක්ෂා සාක්ෂාත් කර ගැනීම සඳහා වගකිව යුතු ආයතනය වන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයයි.
අපනයන ඉහළම මට්ටමට ළඟා වීම
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද 26 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලෙන් පසුව, ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය, අභියෝග සහ අංශය ඉදිරියට ගෙන යාමේදී අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්යභාරය පිළිබඳව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වනු ලැබුණි. ඔහුගේ ප්‍රතිචාරය වූයේ:
“ක්ෂුද්‍ර හා මධ්‍යම මට්ටමේ අපනයනකරුවන් මහා පරිමාණ කාණ්ඩයට ගෙන ඒමෙන් මෙම පරතරය පියවීම අපගේ ඉලක්කය වන අතර, මෙම සංක්‍රාන්තිය තුළ සියයට 30 ක දියුණුවක් අත්කර ගැනීම අපගේ අරමුණයි. මේ සඳහා වන අපගේ ප්‍රවේශයෙන් අවධානය යොමු කරන්නේ අගය එකතු කිරීම, නවෝත්පාදනය සහ ගෝලීය සැපයුම් දාමයන් සමඟ ඒකාබද්ධ වීම යන කාරණා සඳහායි. මැණික් හා ස්වර්ණාභරණ, ආහාර සහ පාන වර්ග, විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ, විසිතුරු මත්ස්‍යයන්, කුළුබඩු, බෝට්ටු තැනීම සහ සමුද්‍ර අපනයන ඇතුළු සංවර්ධනය සඳහා ඉහළ විභව අංශ කිහිපයක් මේ වන විට හඳුනාගෙන තියෙනවා. සේවා අංශය සම්බන්ධයෙන් ගත්තාම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප්‍රධාන දායකත්වයක් ලබා දෙන අංශයක් ලෙස මතුවෙමින් පවතින අතර, ඒ හරහා මෙම වසරේදී අපනයන ආදායමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.9 ක් උපයා ගැනීමේ ඉලක්කය අප සතුව තියෙනවා. ප්‍රවාහනය සහ සැපයුම් මෙන්ම ඉදිකිරීම් කර්මාන්තය ද ප්‍රමුඛතා ක්ෂේත්‍ර වෙනවා. මෙම මුලපිරීම් සමඟින්, 2025 වසර වන විට අපනයන ආදායමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 18.2 ක් ලබා ගැනීම අපගේ අරමුණයි.”
භාණ්ඩ හා සේවා අපනයනය ඉතිහාසයේ ඉහළම අගයට ළඟා වනු ඇතැයි ජනාධිපතිවරයා අපේක්ෂා කරයි. අපනයන සංවර්ධන මණ්ඩලය ඉතිහාසයේ ඉහළම අපනයන කරා ළඟා වීම සඳහා අරමුණු කරමින්, ප්‍රවේශවෙමින්, ඉලක්ක කරමින් සහ ආරම්භ කරමින් සිටියි. අවාසනාවකට මෙන්, රාජ්‍ය, පෞද්ගලික සහ මූල්‍ය අංශවල අදාළ සියලුම ආයතන සමඟ එක්ව සකස් කරන ලද හොඳින් ඉලක්ක කරගත් අලෙවිකරණ සැලැස්මක් පිළිබඳ වචනයක්වත් එහි සඳහන් නොවේ. අපනයන කූඩයේ ඇති නිෂ්පාදන මොනවාද? එම නිෂ්පාදනවල ලබා ගත හැකි බව, විධිමත්භාවය සහ ගුණාත්මකභාවය සහතික කරන්නේ කවුද? අපනයන සඳහා වන ගමනාන්ත මොනවාද? රජයේ ප්‍රතිපත්ති සහ ආනයනය කිරීමට බලාපොරොත්තු වන රටවල පනවා ඇති වෙනස්කම් සහ සීමා අපගේ අපනයනවලට බලපාන්නේ කෙසේද? අවහිර, බාධක හෝ වෙනත් බාධක සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය පුරෝකථනය කර තිබේද? ඒ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය නිහඬය.
පුනර්ජනනීය බලශක්තිවට වැඩි අවධානයක්
අයවැයේ සඳහන් තවත් විෂයක් සලකා බලමු. “පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් බලශක්ති ප්‍රභවයන් විවිධාංගීකරණය කිරීම සහ යටිතල පහසුකම් නවීකරණය කිරීම කෙරෙහි අපි අවධානය යොමු කරන්නෙමු.” අමාත්‍යවරයාගේ සිට පහළට යන විට, අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලය යන දෙකෙහිම ආලින්ද අත්පත් කරගෙන ඇත්තේ ඉංජිනේරුවන් සහ තාක්ෂණික කාර්ය මණ්ඩලයයි. පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම සඳහා ඔවුන් කළේ කුමක්ද? බොහෝ විභව දිනවල දී වහල මත සූර්ය බලශක්ති උත්පාදනය විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත. විසන්ධි කිරීමෙන් පමණක් නොව ගාස්තු අඩු කිරීමෙන්ද වහල මත සූර්ය බලශක්ති උත්පාදනය කරන නිවාස සමඟ ඇති කරගත් ගිවිසුම විදුලිබල මණ්ඩලය විසින් උල්ලංඝනය කළේය. පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අවසන් වීමටත් පෙර සිටම පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි බරක් තැබීමට විදුලිබල මණ්ඩලයට ප්‍රඥාවක් තිබුණි.
සූර්ය, සුළං සහ අනෙකුත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හරහා ජනනය වන විදුලිය ගබඩා කර ස්ථාවර කිරීම සඳහා යටිතල පහසුකම් සූදානම් කිරීමට විදුලිබල මණ්ඩලය අවධානය යොමු කර නොමැත. නැතහොත් ඒ සඳහා ක්‍රියාශීලී වී නොමැත. කවුරුත් දන්නා ප්‍රසිද්ධ හේතු නිසා තාප විදුලිබල උත්පාදනය කඩාකප්පල් කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවූ නමුත්, වහල මත සූර්ය බලශක්ති උත්පාදනය විසන්ධි කිරීමෙන් “පුනර්ජනනීය බලශක්තිය මත වැඩි බරක්” පැටවීමේ රජයේ අභිප්‍රාය ඔවුහු පරාජයට පත් කළහ... මැදපෙරදිග වහල් සේවයේ යෙදෙන අපේ කාන්තාවන් උපයන සොච්චම් ඩොලර් ආදායමෙන් ගෙවන මිල අධික, ආනයනික, කාබන් ජනනය කරන, ගල් අඟුරු සහ පොසිල ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මිනිසුන්ට තීරණය කළ හැකිය.
එහෙත්, සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ලබා ගැනීමේ හැකියාව සහ කාලය තීරණය කරන්නෝ මිනිසුන් නොව හනුමන්තෝය. සොබාදහම ගැන මට ඇත්තේ කනගාටුවකි. එය භාවිත කර බලශක්තිය ජනනය කිරීමට තීරණය කළ හැක්කේ මිනිසුන්ටය. ඒ අවස්ථාවේ දී අපට එය භාවිත කිරීමට නොහැකි නම්, අමාත්‍යාංශයේ සහ විදුලිබල මණ්ඩලයේ විශේෂඥයන්ට වඩා ස්වභාවධර්මය වඩාත් සංවේදී ය, අපට එය සදහටම අහිමි වනු ඇත.
ජනාධිපතිවරයාට පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි වැඩි බරක් තැබීමට අවශ්‍ය නම්, යටිතල පහසුකම් නවීකරණය කිරීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිටින මිනිසුන්ගේ හනුමාන් මානසිකත්වය නවීකරණය කිරීම සඳහා මනෝචිකිත්සකයින් කිහිප දෙනකු බඳවා ගැනීමටද ඔහුට සිදුවේ. පුනර්ජනනීය බලශක්තිය යනු රොකට් විද්‍යාවක් නොවේ. උත්තර ධ්‍රැවයට ආසන්නව පිහිටා ඇති ඩෙන්මාර්කය වැනි රටවල්ද සූර්ය බලශක්තිය ජනනය කරයි. ඔවුන් බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage System - BESS) යටිතල පහසුකම් වැඩිදියුණු කර ඇත. විදුලිබල උත්පාදනය සහ පරිභෝජනය අතර අසමතුලිතතාවක් ඇති විට, එය නාමික ජාල සංඛ්‍යාතයෙන් බැහැරවීමට හේතු විය හැක. මිලි තත්පරයක් තුළ සංඛ්‍යාතය ස්ථාවර කිරීම සඳහා බලය එන්නත් කිරීම හෝ අවශෝෂණය කිරීම මගින් ක්ෂණික ප්‍රාථමික ප්‍රතිචාරයක් ලබා දීමට බැටරි බලශක්ති ගබඩා පද්ධතියට හැකියාවක් ඇත.
2023 ජුනි මාසයේදී ලෝක බැංකුව “ශ්‍රී ලංකාව සඳහා අක්වෙරළ සුළං මාර්ග සිතියමක්” සකස් කර ඇත. ඉන් අක්වෙරළ සුළං බලශක්ති සංවර්ධනය සඳහා ස්ථාන තුනක් හඳුනාගෙන ඇත. බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියක් සහ අක්වෙරළ සුළං මෝල් විදුලි උත්පාදනය සඳහා විදේශීය ආයෝජකයන් විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ බලශක්ති අමාත්‍යාංශයට කරන ලද යෝජනා තිබේ. මෙම යෝජනා සහ ලෝක බැංකු මාර්ග සිතියම ලංකා විදුලිබල මණ්ඩලයේ රාක්කවල දූවිලිවල පහස ලබමින් තිබෙන බව මට විශ්වාසය.
පේළි අතර කියවීම
අයවැය විවාදය අතරතුර, අමාත්‍යවරයකු පැවසුවේ, “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ව ඉවත දමා ජනාධිපති අනුර කුමාර දිසානායක වඩාත් දක්ෂ පුද්ගලයකු ලෙස පිළිගෙන ඇති” බවයි. “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා ඔහුට “බ්‍රාවෝ” කිව්වේ ඒකයි.” මින් මට මතක් වූයේ පහත පණිවුඩය සහිත විද්‍යුත් තැපැලකි.
“ඔබේ අඛණ්ඩ උත්සාහයන් ගෙවී යන සෑම සතියකම සැබවින්ම ප්‍රතිඵලදායකය. බ්‍රාවෝ.” මෙය අගය කිරීමක් නොව මාව ආකර්ෂණය කර ගැනීමකි. ඇමතිවරුන් හෝ වෙනත් ඕනෑම අයකු වචන පමණක් කියවිය යුතු නැත; ඔවුන් පේළි යට සහ පේළි අතර ඇති දේ කියවා නිවැරැදි උපදෙස් ලබා දිය යුතුය.
ජනතා කේන්ද්‍රීය රජයක්
අයවැය කතාව පවත්වමින් ජනාධිපතිතුමා මෙසේ පැවසීය, “... අපි අදහස් කරන්නේ සියලුම පුරවැසියන්ව ක්‍රියාකාරී සහභාගිවන්නන්, ක්‍රියාකාරී කොටස්කරුවන් සහ ක්‍රියාකාරී ප්‍රතිලාභීන් වන ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා අඩිතාලමක් දැමීමටයි. රජයේ කාර්යභාරය වන්නේ ජනතාවට ඔවුන්ගේ ආර්ථික විභවය සපුරා ගැනීමට පහසුකම් සැලසීම සහ ඒ සඳහා ඇති බාධක ඉවත් කිරීමයි. මෙම පහසුකම් සැපයීමේ කාර්යභාරය ඉටු කරන්නේ කුමන ආයතනය හෝ ආයතනද? සංයුක්ත සහ හොඳින් ඉලක්ක කරගත් සැලැස්මක් සැලසුම් නොකළහොත්, අභිප්‍රාය තවදුරටත් අභිප්‍රායක් ලෙසින්ම පවතිනු ඇති අතර, ඊළඟ අයවැය කථා හතරේදී එය නිසැකවම පුනරාවර්තනය වනු ඇත.
ජනාධිපතිවරයාගේ අභිප්‍රාය යථාර්ථයක් බවට පත් කරන්නේ කවුද? ඒ රාජ්‍ය අංශයයි. අයවැයෙන් දක්වා ඇති අපේක්ෂා ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය අංශයේ සංවිධාන ප්‍රතිචාර දක්වන ආකාරය පැහැදිලි කිරීමට මම අවස්ථා කිහිපයක් පමණක් උපුටා දැක්වුවෙමි. රාජ්‍ය අංශයේ ආයතනවලට අරමුදල් ලැබේ, වියදම් කිරීම දිගටම කරගෙන යයි, එහෙත් ඒවා සාක්ෂාත් කරගන්නේ කුමක්ද?
සමාප්තිය
රාජ්‍ය අංශයට අයවැයෙන් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම වැටුප් වැඩිවීමක ස්වරූපයෙන් පැමිණ තිබේ. “රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා යහපත් ජීවන තත්වයක් ලබා දීම අවශ්‍ය වන අතර, එමඟින් රජයට දක්ෂ හා කුසළතා සහිත සේවකයන් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබේ. ඒ අනුව, අවම මාසික මූලික වැටුප වැඩි කිරීමට අපි යෝජනා කරමු...”
රාජ්‍ය අංශයට හෝ එම අංශයට වැටුප් වැඩිවීමක් ලබා දීම ගැන මම විරුද්ධ නොවෙමි. “රාජ්‍ය අංශයේ සේවකයන්ට යහපත් ජීවන තත්වයක් ලබා දීම අවශ්‍යයි” යන්න නිවැරදියි. එහෙත්, පොදු ජනතාවට, එනම් රාජ්‍ය සේවය ලබන්නන්ට යහපත් ජීවන තත්වයක් සහතික කිරීම අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩිය.
සරල බව, අවංකභාවය, අඛණ්ඩතාව, ධර්මිෂ්ඨකම, විශ්වාසවන්තභාවය සහ සදාචාරය නිසැකවම ප්‍රශංසනීය ගුණාංග වේ. නමුත් ජනාධිපතිවරයාගේ පමණක් නොව ඔහු කෙරෙහි විශ්වාසය තැබූ මිලියන 6.8 ක ඡන්දදායකයන්ගේ අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා, “කාර්ය භාරකරුවකු” වීම මේ මොහොතේ ඇති අවශ්‍යතාවයි.
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
76 වසරක් බලාසිටීම: අපේක්ෂා රුසක්