IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


5G සම්බන්ධතාවලට මොබිටෙල් ඩයලොග් සමාගම් දෙකට බලපත්‍ර


භානුක අමරසිංහ


මෙරට තුළ 5G සංඛ්‍යාත වර්ණාවලි මිලදී ගැනීම සඳහා පැවැත්වුණු වෙන්දේසිය යටතේ බලපත්‍රලාභී විදුලි සංදේශ ක්‍රියාකරුවන් වෙත මෙරට තුළ 5G සම්බන්ධතාව ක්‍රියාත්මක කිරීමට අදාළ බලපත්‍ර ප්‍රදානය කිරීම ඊයේ (18) කොළඹදී සිදුකෙරිණි.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අධ්‍යක්ෂ ජනරාල්, එයා වයිස් මාෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය වී තිබුණි.

ඒ අනුව මෙම 5G සංඛ්‍යාත වර්ණාවලි මිලදී ගැනීමේ වෙන්දේසිය වෙත ඉදිරිපත් වූ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සහ මොබිටෙල් සමාගම් වෙත මෙලෙස බලපත්‍ර ප්‍රදානය කිරීම සිදුවිය. මෙහිදී 3500Mhz සංඛ්‍යාත පරාසය සඳහා ඩයලොග් ආසිආටා සහ මොබිටෙල් යන සමාගම් වෙතද, 27GHz සංඛ්‍යාත පරාසය සඳහා ඩයලොග් ආසිආටා සමාගම වෙතද බලපත්‍ර ප්‍රදානය කෙරිණි.

මෙම 5G සංඛ්‍යාත වෙන්දේසිය පෙරේදා (17) පැවැත්වුණු අතර, අදාළ සමාගම් මිලදී ගන්නා සංඛ්‍යාත වර්ණාවලි සඳහා වන ගෙවීම් වෙනුවෙන් දෙසැම්බර් 19 සිට 29 දක්වා කාලය ලබා දී තිබේ. මෙම 5G සංඛ්‍යාත වෙන්දේසිය මෙතෙක් මෙරට තුළ සිදුවූ විශාලතම වෙන්දේසිය වන අතර ඒ හරහා මහාභාණ්ඩාගාරය වෙත රැස් කර ගැනීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 9 කට ආසන්න වෙයි.

ඡායාරූප - උපුල් අබේසේකර

 



අදහස් (0)

5G සම්බන්ධතාවලට මොබිටෙල් ඩයලොග් සමාගම් දෙකට බලපත්‍ර

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site