2026 වසරේ හජ් වන්දනාකරුවන් සඳහා සාර්ථක ලෙස බැංකු සේවා පහසුකම් සැලසීමෙන් අනතුරුව, 2027 වසරේදීද හජ් වන්දනාව සඳහා බැංකු සේවා සැපයීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් අමානා බැංකුව තෝරාගෙන තිබේ.
තරගකාරී තෝරාගැනීම් ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, සංචාරක සේවා සපයන්නන් සහ වන්දනාකරුවන් ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අපේක්ෂාවලට අනුකූලව සුරක්ෂිත, කාර්යක්ෂම සහ විනිවිදභාවයෙන් යුත් බැංකු සේවා සැපයීම සඳහා අමානා බැංකුව සතු හැකියාව මෙමගින් මැනැවින් පිළිබිඹු වේ.
මෙම වැඩසටහන යටතේ, හජ් වන්දනාව සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන වන්දනාකරුවන් වෙනුවෙන් විශේෂ හජ් ගිණුම් (Special Hajj Accounts) විවෘත කිරීමේ සහ කළමනාකරණය කිරීමේ පහසුකම් අමානා බැංකුව මගින් සලසනු ලබයි. ඒ අනුව සෞදි අරාබියේ හජ් සහ උම්රා අමාත්‍යාංශයෙන් නියම කර ඇති කාලසීමාව තුළ අනිවාර්ය හජ් ගෙවීම් කිරීමට මෙමගින් වන්දනාකරුවන්ට හැකියාව ලැබේ.
මෙම විශේෂ හජ් ගිණුම, හජ් වන්දනා කටයුතු කළමනාකරණය කිරීම සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් හඳුන්වා දී ඇති ක්‍රියාවලියේ අනිවාර්ය අංගයක් වන අතර, එහි අරමුණ වන්නේ හජ් වන්දනා කටයුතු සම්බන්ධ පාලනය, විනිවිදභාවය, සාධාරණත්වය සහ වගකීම්සහගත බව තවදුරටත් ශක්තිමත් කිරීමය. හජ් වන්දනාව සඳහා තෝරාගනු ලබන වන්දනාකරුවන්ට ආරක්ෂිත එස්ක්‍රෝ (escrow) ක්‍රමවේදයක් හරහා, වන්දනා ගමනට අදාළව තමන් ගෙවිය යුතු අත්තිකාරම් මුදල පහසුවෙන් ගෙවීමට මෙම ගිණුම මගින් හැකියාව ලැබෙන අතර, එමගින් සමස්ත ක්‍රියාවලියෙහි විනිවිදභාවය සහ වගවීම සහතික කෙරේ. තවද වන්දනාකරුවන්ට ඉහළ ලාබ බෙදාගැනීමේ අනුපාතයක්ද හිමි වන අතර, ඔවුන් ගෙවීම සිදු කළ අවස්ථාවේ සිට වන්දනා ගමන සිදුකරන තෙක් ගත වන කාලය තුළ ආකර්ෂණීය ප්‍රතිලාභ උපයා ගැනීමටද එමගින් අවස්ථාව හිමි වේ.
හජ් වන්දනා අත්දැකීම තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, වන්දනාකරුවන් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ රැසක්ද අමානා බැංකුවෙන් හඳුන්වා දී ඇත. වන්දනා ගමනකට සුදුසු සංචාරක උපාංග ලබා දීම, සෞදි රියාල් මිලදී ගැනීමේදී වඩාත් හොඳ විනිමය අනුපාත පිරිනැමීම සහ සෞදි අරාබි රාජ්‍යයේ ගතකරන කාලසීමාව තුළ ඩෙබිට් කාඩ්පත් මගින් සිදුකරන වියදම් සඳහා සියයට 10ක Cashback දීමනාවක් ලබාදීම ආදිය ඒ අතරට ඇතුළත් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතා මෙසේ පැවසීය.
“හජ් වන්දනාව සඳහා බැංකු සේවා හවුල්කරු ලෙස යළිත් වරක් අමානා බැංකුව කෙරෙහි විශ්වාසය තැබීමට මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කිරීම අපට මහත් ගෞරවයක්. ඉහළම මට්ටමේ පාලනයක් සහ විනිවිදභාවයක් පවත්වා ගනිමින්, සුරක්ෂිත සහ පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් සැපයීමට අප සෑම විටම කැප වී සිටිනවා. මේ සඳහා අප ආභාසය ලබන්නේ මැලේසියාව වැනි රටවල ක්‍රියාත්මක විශිෂ්ටතම ජාත්‍යන්තර ක්‍රමවේද තුළිනුයි. අපගේ ආයතනික කොටස් හිමියන් හරහා එම දැනුම සහ අත්දැකීම් භාවිත කිරීමට අපට හැකි වී තිබෙනවා.”
2027 හජ් වන්දනාකරුවන්ගේ නිල බැංකුව අමානා