IMG-LOGO

2026 නොවැම්බර් මස 27 වන සිකුරාදා


2027 අයවැය: අවස්ථා අභියෝග ඉදිරි ගමන් මග

2027 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය රටේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් නිෂ්පාදනය, ආයෝජනය, අපනයන සහ සමාජීය සංවර්ධනය මත පදනම් වූ නව ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණ පෙරදැරි කරගත් අයවැයක් ලෙස හඳුනාගත හැකිය. 2027 අයවැය කතාවලින් රජයේ මධ්‍යකාලීන ආර්ථික දැක්ම, රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය, ආයෝජන සැලසුම් සහ ප්‍රධාන ක්ෂේත්‍රවල සංවර්ධන යෝජනා ඉදිරිපත් කර ඇත. 

මෙම අයවැය විශ්ලේෂණය කිරීමේදී විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම සහ ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම අතර සමතුලිතතාවක් ඇති කිරීමේ අභියෝගයයි. එමෙන්ම රාජ්‍ය ආදායම් වැඩි කිරීම, රාජ්‍ය ණය පාලනය, පෞද්ගලික ආයෝජන දිරිගැන්වීම සහ රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීම යන අරමුණු එකිනෙකට සම්බන්ධ කරගැනීම ද මෙහිදී වැදගත් වේ. එබැවින් 2027 අයවැය හුදෙක් වාර්ෂික ආදායම් හා වියදම් ලේඛනයක් ලෙස නොව ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික ගමන් මග තීරණය කරන ප්‍රතිපත්තිමය මෙවලමක් ලෙස විමසා බැලිය යුතුය.


සාර්ව ආර්ථික දැක්ම
2027 අයවැයේ මධ්‍යකාලීන ආර්ථික දැක්ම වන්නේ වාර්ෂිකව සියයට 7ක හෝ ඊට වැඩි තිරසර ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමයි. ඒ සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම, අයවැය හිඟය සියයට 4.5 ට අඩු කිරීම, රාජ්‍ය ආදායම මධ්‍යකාලීනව සියයට 16ක් සහ දිගුකාලීනව සියයට 20ක් දක්වා ඉහළ නැංවීම මෙන්ම රාජ්‍ය ආයෝජනය සියයට 4 ඉක්මවන මට්ටමක පවත්වා ගැනීම ඉලක්ක කර ඇත. 

කෙසේ වෙතත්, 2027 රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.8 ක් ලෙස ඇස්තමේන්තු කර තිබීම සහ රුපියල් බිලියන 2,643ක ඉහළ පොලී ගෙවීම් බර පැවතීම මෙම ඉලක්ක සාක්ෂාත් කරගැනීමේ අභියෝග පෙන්වා දෙයි. එබැවින් රාජ්‍ය මූල්‍ය විනය පවත්වා ගැනීමට අමතරව දේශීය නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම, අපනයන විවිධාංගීකරණය, විදේශීය ආයෝජන ආකර්ෂණය, තාක්ෂණික නවෝත්පාදන සහ මානව සම්පත් සංවර්ධනය සඳහා ප්‍රමුඛත්වය දිය යුතුය. අවසානයේදී, අයවැයේ සාර්ථකත්වය තීරණය වන්නේ ඉදිරිපත් කරන මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමෙන් පමණක් නොව, ඒවා රැකියා උත්පාදනය, ජනතා ආදායම් වර්ධනය සහ ජීවන තත්වය වැඩිදියුණු කිරීම වැනි සැබෑ ආර්ථික ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීමෙනි.


රාජ්‍ය ආදායම් සහ වියදම් පිළිබඳ විශ්ලේෂණය
2027 අයවැය ඇස්තමේන්තු සාරාංශය අනුව රජයේ මුළු ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 6,180ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර මුළු වියදම රුපියල් බිලියන 7,673ක් ලෙස දක්වා ඇත. මෙම සංඛ්‍යාලේඛනවලින් පැහැදිලි වන්නේ රාජ්‍ය ආදායම සහ වියදම අතර තවදුරටත් සැලකිය යුතු පරතරයක් පවතින බවයි. විශේෂයෙන්ම රුපියල් බිලියන 2,643ක පොලී ගෙවීම් ප්‍රමාණය රජයේ මුළු වියදම්වලින් සැලකිය යුතු කොටසක් නියෝජනය කරයි. එය නව සංවර්ධන ව්‍යාපෘති සඳහා භාවිත කළ හැකි මූල්‍ය අවකාශය සීමා කරන ප්‍රධාන සාධකයකි. එබැවින් රාජ්‍ය ආදායම් වර්ධනය කිරීමේදී බදු වැඩි කිරීම පමණක් නොව ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීම, බදු පරිපාලනය ඩිජිටල්කරණය, බදු පැහැර හැරීම් අවම කිරීම සහ රාජ්‍ය වත්කම්වල ඵලදායීතාව වැඩි කිරීම ද අවධානයට යොමු කළ යුතුය.


රාජ්‍ය ආයෝජන සහ සංවර්ධන ව්‍යාපෘති
2027 අයවැයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ රාජ්‍ය ආයෝජන වැඩි කිරීම කෙරෙහි යොමු කර ඇති අවධානයයි. අයවැය ඇස්තමේන්තු සාරාංශය අනුව 2027 වර්ෂය සඳහා රාජ්‍ය ආයෝජනය රුපියල් බිලියන 1,750ක් ලෙස දක්වා ඇති අතර, පරිපූරක ප්‍රතිපාදන ද ඇතුළත් පුළුල් රාජ්‍ය ආයෝජන ඉලක්කය රුපියල් බිලියන 2,000ක් ලෙස අයවැය කතාවේ සඳහන් වේ. මෙම ආයෝජන අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය, මාර්ග, කෘෂිකර්මාන්තය, නිවාස, බලශක්තිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි අංශ ගණනාවක් ආවරණය කරයි. එහෙත් රාජ්‍ය ආයෝජනයේ සාර්ථකත්වය තීරණය වන්නේ වෙන් කර ඇති මුදල් ප්‍රමාණය මත පමණක් නොවේ. ව්‍යාපෘති නියමිත කාලයට නිම කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලියේ විනිවිදභාවය, පිරිවැය පාලනය සහ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ මැනීම ද අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම අතීතයේ ආරම්භ කර අතරමග නතර වූ ව්‍යාපෘති නිම කිරීම, පවතින යටිතල පහසුකම් ප්‍රයෝජනවත් ලෙස භාවිත කිරීම සහ නව ව්‍යාපෘති සඳහා නිවැරදි ශක්‍යතා අධ්‍යයන සිදු කිරීම ප්‍රමුඛතාවක් විය යුතුය.


ප්‍රවාහන හා මාර්ග යටිතල පහසුකම් සංවර්ධනය
2027 අයවැයෙන් ප්‍රවාහන හා මාර්ග යටිතල පහසුකම් නවීකරණය සඳහා රුපියල් බිලියන 95ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කර ඇත. ඒ යටතේ මෙට්‍රෝ බස් සේවය ප්‍රධාන නගර දක්වා ව්‍යාප්ත කිරීම, විදුලි බස් රථ 100ක් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම, ග්‍රාමීය ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා කුඩා බස් රථ 200ක් මිලදී ගැනීම, දුම්රිය මැදිරි පහක් මිලදී ගැනීම සහ දුම්රිය ස්ථාන නවීකරණය කිරීම ප්‍රධාන යෝජනා වේ. මීට අමතරව මධ්‍යම හා රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘති ඇතුළු මහාමාර්ග පද්ධතිය පුළුල් කිරීම සඳහා ද ආයෝජන යෝජනා කර ඇත.
මෙම ආයෝජන මගින් ප්‍රවාහන කාලය හා මෙහෙයුම් පිරිවැය අඩු කිරීම, වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම් පුළුල් කිරීම අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත් ඒවායේ සාර්ථකත්වය රඳා පවතින්නේ ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම, පිරිවැය හා කාලසීමා පාලනය, දිගුකාලීන නඩත්තුව සහ මහජන මුදල් සඳහා ලැබෙන ආර්ථික හා සමාජීය ප්‍රතිලාභ නිසි ලෙස ඇගයීම මතය. එබැවින්, මෙම යෝජනා විනිවිදභාවයෙන් හා විධිමත් කළමනාකරණයකින් ක්‍රියාත්මක කිරීම ජාතික ඵලදායිතාව ඉහළ නැංවීමට සහ තිරසර ආර්ථික වර්ධනයට දායක වනු ඇත.


අධ්‍යාපනය, මානව සම්පත් සහ කුසලතා සංවර්ධනය
2027 අයවැයෙන් අනාගත ආර්ථික අවශ්‍යතාවලට ගැලපෙන දැනුමෙන් හා තාක්ෂණික කුසලතාවලින් සමන්විත ශ්‍රම බළකායක් බිහි කිරීම අරමුණු කරගෙන අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව, සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන 4,000ක් ද, අධ්‍යාපන ක්ෂේත්‍රයේ මානව සම්පත් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 2,000ක් ද, කාර්මික හා තාක්ෂණික විද්‍යාල නවීකරණය සඳහා රුපියල් මිලියන 1,500ක් ද, වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 800ක් ද වෙන් කිරීමට යෝජනා කර තිබේ. 
මෙම ආයෝජනවල ප්‍රධාන අරමුණ වන්නේ තාක්ෂණික වෙනස්කම්වලට අනුගත විය හැකි, රැකියා වෙළෙඳපොළේ ඉල්ලු‍මට සරිලන කුසලතා සහිත මානව සම්පතක් ගොඩනැගීමයි. කෙසේ වෙතත් මෙම වැඩසටහන්වල සාර්ථකත්වය තක්සේරු කළ යුත්තේ වෙන් කරන ලද මුදල් හෝ භෞතික පහසුකම්වල ප්‍රමාණය මත පමණක් නොව සිසුන්ගේ කුසලතා වර්ධනය, වෘත්තීය පුහුණුවෙන් පසු රැකියා ලබාගැනීමේ අනුපාතය, ශ්‍රම වෙළෙඳපොළට ඇති ගැලපීම සහ පර්යේෂණ හා නවෝත්පාදන ප්‍රතිඵල වැනි මැනිය හැකි දර්ශක මතය. ඒ අනුව, අධ්‍යාපන ආයෝජන රටේ මානව ප්‍රාග්ධනය ශක්තිමත් කරමින් දිගුකාලීන ආර්ථික වර්ධනයට දායක වන පරිදි ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.


ඩිජිටල් ආර්ථිකය සහ නවෝත්පාදනය
ඩිජිටල් තාක්ෂණය ආර්ථිකයේ සෑම අංශයකටම සම්බන්ධ කිරීම 2027 අයවැයේ වැදගත් ප්‍රතිපත්තිමය දිශාවකි. ඩිජිටල් ආර්ථික අධිකාරිය සහ ජාතික ඩිජිටල් ආර්ථික කවුන්සිලය පිහිටුවීම, සයිබර් ආරක්ෂණය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීම වැනි යෝජනා මගින් නව ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් මිලියන 23,800ක් වෙන් කර තිබීම ද වැදගත් කරුණකි. මෙම ආයෝජනවලින් සැබෑ ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමට නම් පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල, පෞද්ගලික සමාගම් සහ රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව ශක්තිමත් කළ යුතුය. විශේෂයෙන්ම කෘත්‍රිම බුද්ධිය, දත්ත විශ්ලේෂණය, ස්වයංක්‍රීයකරණය, මෘදුකාංග සංවර්ධනය සහ තාක්ෂණික ව්‍යවසායකත්වය වැනි ක්ෂේත්‍රවල දේශීය හැකියාව වර්ධනය කිරීම වැදගත් වේ.


කෘෂිකර්මාන්තය සහ ග්‍රාමීය ආර්ථිකය
2027 අයවැයෙන් කෘෂිකර්මාන්තයේ ඵලදායීතාව ඉහළ නැංවීම සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත. රටේ ශ්‍රම බලකායෙන් සියයට 23.9ක් පමණ කෘෂිකර්මාන්තයේ නිරත වුවද, ජාතික ආර්ථිකයට එහි දායකත්වය සියයට 8.4ක් පමණ වීම මෙම අංශයේ ඵලදායීතාව හා තාක්ෂණික භාවිතය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙයි. ඒ අනුව සාමූහික වගා ක්‍රම ප්‍රවර්ධනය, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ භාවිතය පුළුල් කිරීම, නිෂ්පාදනවල ගුණාත්මකභාවය හා වෙළෙඳපොළ ප්‍රවේශය වැඩි කිරීම, ගොවිජන සේවා මධ්‍යස්ථාන නවීකරණය සහ පෞද්ගලික අංශයේ ආයෝජන දිරිගැන්වීම ප්‍රධාන ක්‍රියාමාර්ග ලෙස යෝජනා කර ඇත. මෙම වැඩසටහන්වල සාර්ථකත්වය තීරණය වන්නේ ගොවි ආදායම ඉහළ නැංවීම, අස්වනු පසු නාස්තිය අවම කිරීම සහ දේශීය කෘෂි නිෂ්පාදනවල තරගකාරීත්වය වර්ධනය කිරීමෙනි.


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ අපනයන වර්ධනය
ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දායකත්වය ඉතා වැදගත් වේ. එම ව්‍යාපාර සඳහා මූල්‍ය පහසුකම්, තාක්ෂණික සහාය, වෙළෙඳපොළ ප්‍රවේශය සහ ව්‍යාපාරික පුහුණුව ලබාදීම අත්‍යවශ්‍ය වේ. 2027 අයවැය තුළ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් අපනයන වෙළෙඳපොළ වෙත යොමු කිරීම සඳහා දැනට පවතින TIEP ක්‍රියාවලිය නවීකරණය කිරීම යෝජනා කර ඇත. එමෙන්ම ඉන්දියාව සමග පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම පුළුල් කිරීම, චීනය සමග නව ගිවිසුමක් පිළිබඳ අවධානය යොමු කිරීම සහ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම වැනි කලාපීය වෙළෙඳ ක්‍රියාවලීන්ට සම්බන්ධ වීම සඳහා ද යෝජනා ඉදිරිපත් කර තිබේ. මෙම ප්‍රතිපත්තිවල සාර්ථකත්වය තීරණය වන්නේ ගිවිසුම් අත්සන් කිරීමෙන් පමණක් නොවේ. දේශීය නිෂ්පාදකයන්ට තරගකාරී මිලකට නිෂ්පාදනය කිරීමට හැකිවීම, ගුණාත්මක ප්‍රමිති සපුරාලීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට අඛණ්ඩව පිවිසීම ද සහතික කළ යුතුය.


සෞඛ්‍යය සහ සමාජ ආරක්ෂණය
ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට සාධාරණව බෙදාහැරීම 2027 අයවැයේ තවත් වැදගත් අරමුණකි. සෞඛ්‍ය සේවාවල පහසුකම් වැඩිදියුණු කිරීම, වෛද්‍ය උපකරණ මිලදී ගැනීම, ගිලන් රථ සේවා පුළුල් කිරීම සහ ප්‍රාදේශීය සෞඛ්‍ය පහසුකම් ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපාදන යෝජනා කර ඇත. එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල්, ආබාධ සහිත පුද්ගලයන්, වැඩිහිටියන් සහ ආපදාවලින් පීඩාවට පත් ජනතාව සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ද අයවැයේ ඇතුළත් වේ. මෙහිදී වැදගත් වන්නේ සහනාධාර ලබාදීම පමණක් නොව එම ජනතාවගේ ආදායම් උත්පාදන හැකියාව සහ ආර්ථිකයට සම්බන්ධ වීමේ අවස්ථා වැඩිදියුණු කිරීමයි.


අයවැයේ ප්‍රධාන අභියෝග සහ අවදානම්
2027 අයවැයේ සංවර්ධන යෝජනා සාර්ථකව ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ණය හා ඉහළ පොලී ගෙවීම් බර, ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාද සහ පිරිවැය ඉහළ යාම, උද්ධමනය හා ජීවන වියදම ඉහළ යාමේ අවදානම සහ රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු‍ ප්‍රධාන අභියෝග ලෙස හඳුනාගත හැකිය. එසේම මැදපෙරදිග භූ දේශපාලනික අර්බුද, ජාත්‍යන්තර බලශක්ති මිල වෙනස්වීම්, දේශගුණික විපර්යාස සහ ස්වාභාවික ආපදා වැනි බාහිර සාධක ද ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට බලපෑම් කළ හැකිය. විශේෂයෙන්ම රුපියල් බිලියන 2,643ක පොලී ගෙවීම් බර හමුවේ රාජ්‍ය මූල්‍ය සම්පත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම අත්‍යවශ්‍ය වේ. එබැවින් අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය, වගවීම, ව්‍යාපෘති ප්‍රගති අධීක්ෂණය සහ කාලෝචිත ප්‍රතිපත්ති සංශෝධන සඳහා ප්‍රමුඛත්වය ලබාදීම වැදගත් වේ.


ඉදිරි ගමන් මග 
2027 අයවැයේ අරමුණු කඩිනමින් ප්‍රායෝගික ප්‍රතිඵල බවට පත් කිරීම සඳහා අයවැය ප්‍රතිපාදන භාවිතය පිළිබඳ මාසික හා කාර්තුමය ප්‍රගති සමාලෝචන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සහ ප්‍රමාද වූ සංවර්ධන ව්‍යාපෘති කඩිනම් කිරීම අත්‍යවශ්‍ය වේ. එසේම රාජ්‍ය ආයතනවල කාර්යසාධන දර්ශක (KPIs) හඳුන්වා දී ප්‍රතිඵල මත පදනම් වූ ඇගයීම් ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, බදු පරිපාලනය හා රාජ්‍ය සේවා ඩිජිටල්කරණය වේගවත් කිරීම සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය පුළුල් කිරීම ද වැදගත් වේ. තවද මිල පාලනයට පමණක් සීමා නොවී සැපයුම් දාම කාර්යක්ෂමතාව සහ වෙළෙඳපොළ තරගකාරීත්වය ඉහළ නැංවීමෙන් ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කළ හැකිය.


දිගුකාලීන ක්‍රියාමාර්ග
දිගුකාලීන ආර්ථික වර්ධනයක් සහතික කිරීම සඳහා අපනයන පදනම් කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම, පර්යේෂණ හා නවෝත්පාදන ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළට ගැලපෙන කුසලතා සහිත මානව සම්පතක් සංවර්ධනය කිරීම ප්‍රමුඛත්වය ගත යුතුය. එසේම පුනර්ජනනීය බලශක්ති භාවිතය පුළුල් කිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වය විනිවිදභාවයෙන් ශක්තිමත් කිරීම සහ රාජ්‍ය ව්‍යාපාරවල මූල්‍ය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ද අත්‍යවශ්‍ය වේ. තවද දේශගුණික විපර්යාස හා ස්වාභාවික ආපදාවලට ඔරොත්තු දිය හැකි ආර්ථික හා සමාජ පද්ධතියක් ගොඩනැගීමෙන් රටේ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය සහ තිරසර සංවර්ධනය තහවුරු කළ හැකිය.
2027 අයවැය ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමේ ක්‍රියාවලියෙන් ඉදිරියට ගෙන යමින් නිෂ්පාදනය, ආයෝජනය, අපනයන, තාක්ෂණය සහ සමාජ සාධාරණත්වය මත පදනම් වූ ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණ ප්‍රකාශ කරයි. එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අයවැය කතාවේ ඉදිරිපත් කරන ලද යෝජනා සහ විසර්ජන පනත් කෙටුම්පතේ මූල්‍ය ප්‍රතිපාදන අතර නිසි සම්බන්ධතාවක් ඇති කිරීම මතය. එමෙන්ම වෙන් කළ මුදල් නියමිත කාලයට, නිවැරදි ප්‍රමුඛතා අනුව සහ මැනිය හැකි ප්‍රතිඵල ලබාදෙන ආකාරයෙන් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. අද ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රධාන අභියෝගය වන්නේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම පමණක් නොව එම ස්ථාවරත්වය ජනතාවගේ ආදායම්, රැකියා අවස්ථා, ව්‍යාපාරික වර්ධනය සහ ජීවන තත්වය වැඩිදියුණු කරන සැබෑ සංවර්ධනයක් බවට පරිවර්තනය කිරීමයි. ඒ සඳහා ශක්තිමත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක්, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, වගකීම් සහිත පෞද්ගලික අංශයක්, තාක්ෂණික නවෝත්පාදනය සහ දැනුමෙන් සන්නද්ධ මානව සම්පතක් අවශ්‍ය වේ. අවසානයේදී, 2027 අයවැයේ සැබෑ සාර්ථකත්වය මැනිය යුත්තේ වෙන් කළ මුදල් ප්‍රමාණයෙන් හෝ ප්‍රකාශ කළ සංවර්ධන යෝජනා ගණනින් නොව එමගින් රටේ ආර්ථිකයට එකතු වූ වටිනාකමෙන් සහ සාමාන්‍ය ජනතාවගේ ජීවිතවල ඇති වූ ධනාත්මක වෙනසෙනි. 2027 අයවැය ශ්‍රී ලංකාවට ආර්ථික ස්ථාවරත්වයෙන් තිරසර, නිෂ්පාදනශීලී සහ සාධාරණ සංවර්ධනයක් කරා ගමන් කිරීමට ලැබෙන තවත් වැදගත් අවස්ථාවකි. එම අවස්ථාව සාර්ථක කරගැනීම රජය, පෞද්ගලික අංශය සහ සමස්ත ජනතාව සතු සාමූහික වගකීමකි.

 



අදහස් (0)

2027 අයවැය: අවස්ථා අභියෝග ඉදිරි ගමන් මග

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site