IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


2026 වසරේදී සියයට 6 ක ආර්ථික වර්ධන අපේක්ෂාවක්

 ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

  • ඉලක්කයෙන් කොටසක් රජයේ ප්‍රාග්ධන වියදම් හරහා සපුරා ගැනීමට බලාපොරොත්තුවක්
  • අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම මෙම වසරේ ආර්ථික වර්ධනයේ ප්‍රගතියට බලපානු ඇති
  • මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4ත් 4.5ත් අතර
  • ආයෝජකයන් සහ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු සහගතව සිටිය යුතුයි
  • ලබන වසරේදී රජයේ ප්‍රාග්ධන වියදම සියයට 8 කින් රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තුවක්
  • ජීවනෝපාය සම්පූර්ණයෙන් ලබන වසරේදී ධනාත්මකව වෙනස් වනු ඇතැයි රජය පවසන්නේ නෑ
  • ලබන වසරේදී ඩොලර් බිලියන 2ක් දක්වා මෙරට ඍජ‌ු විදෙස් ආයෝජන දෙගුණ කර ගැනීමේත් සූදානමක්

විමුක්ති එස්. රුද්‍රිගු
ලබන වසරේදී ශ්‍රී ලංකාව සියයට 6 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගැනීමට ඉලක්ක කර තිබෙන බවත් එම ඉලක්කයෙන් කොටසක් රජයේ ප්‍රාග්ධන වියදම් හරහා සපුරා ගැනීමට බලාපොරොත්තු වන බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති  අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම මෙම වසරේ ආර්ථික වර්ධනයේ ප්‍රගතියට බලපානු ඇතැයිද අමාත්‍යවරයා පැවැසුවේය. නිදහසින් පසුව මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ ආයෝජකයන් සහ ශ්‍රී ලාංකිකයන් බලාපොරොත්තු සහගතව සිටිය යුතු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව පසුගිය වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබෙන නමුත් අයවැය සම්මත කර ගැනීමට ප්‍රමාදවීම හේතුවෙන් රජයේ වියදම් මන්දගාමී වූ බැවින් මෙම වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 4ත් 4.5ත් අතර ප්‍රතිශතයකට පහළ යනු ඇතැයි අමාත්‍යවරයා කීය. ලබන වසරේදී ශ්‍රී ලංකාවට සියයට 5ත් 6ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීමට සිදුවනු ඇති බවත් ශ්‍රී ලංකාව එම ප්‍රතිශතය ඉලක්කය කරගනු ඇති බවත් ඔහු පැවැසුවේය.


වසර පහකට පසුව සංවර්ධනය වෙමින් පවතින රටවල් පවත්වාගෙන යන ආර්ථික වර්ධනය ශ්‍රී ලංකාව ද පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවත් එම ප්‍රතිශතය සියයට 6ත් 7ත් අතර වනු ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ලබන වසරේදී රජය සිය ප්‍රාග්ධන වියදම සියයට 8 කින් රුපියල් ට්‍රිලියන 1.4 දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වන බවද ප්‍රනාන්දු මහතා පැවැසුවේය.
මෙම වසරේදී මෙරට ආර්ථිකය සියයට 3.3 ක ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇති බවත් ලබන වසරේදී මෙරට ආර්ථිකය සියයට 5.2කින් වර්ධනය වනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර පුරෝකථනය කර තිබිණි. කෙසේ නමුත් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙරේදා (15) නිකුත් කළ දත්ත වාර්තාවට අනුව ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු කාර්තුවේදී සියයට 4.8 ක ප්‍රතිශතයක ආර්ථික වර්ධනයක් ළඟා කරගෙන තිබූ අතර දෙවැනි කාර්තුවේදී සියයට 4.9 ක ප්‍රතිශතයකින් ආර්ථිකය වර්ධනය කරගෙන තිබිණි.
ජීවනෝපාය සම්පූර්ණයෙන් ලබන වසරේදී ධනාත්මකව වෙනස් වනු ඇතැයි රජය නොපවසන බවත් රජය පවසන්නේ ශ්‍රී ලාංකිකයන්ට හා ආයෝජකයන්ට ලබන වසරේදී බලාපොරොත්තු සහගතව සිටින ලෙස බවත් කම්කරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

2026 වසරේදී සියයට 6 ක ආර්ථික වර්ධන අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site