IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


2026 රජයේ සමස්ත ආදායම් ප්‍රදාන ඉලක්ක සියයට 15.4ට අඩු කරයි

  • වාහන ඉල්ලු‍ම ලබන වසරේදී සාමන්‍ය තත්වයට. එහිදී රජයේ ආදායම අඩුවීමේ හැකියාවක්
  • මෙම වසරේදී රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14.8 ක්. ලබන වසරේදී එය සියයට 14.2ක් වනු ඇතැයි පුරෝකථනයක්
  • මෙම වසරේ රජයේ ආදායම් ඉලක්කය රැ.බි.4,960 ක්. පළමු මාස නවයේදී ඉන් රැ.බි.3,827 ක් උපයලා
  • පළමු මාස නවයේදී මෙරට බදු ගෙවන සමාගම් ගණන 118,678 දක්වා වර්ධනය වෙලා
  • පසුගිය වසරේ පළමු මාස නවය අවසානයේදී මෙරට බදු ගෙවූ සමාගම් ගණන 94,829 ක්
  • මෙරට බදු ගෙවන තනි පුද්ගලයන් සංඛ්‍යාව 1,141,526 දක්වා වර්ධනය වෙලා. සියයට 37 ක වර්ධනයක්
  • සමාජ ආරක්ෂණ බද්ද ගෙවීමට ලියාපදිංචි වී ඇති පුද්ගලයන් ගණන 15,189 දක්වා ඉහළ ගිහින්

විමුක්ති එස් රුද්‍රිගු

මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක

ලබන වසරේදී රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.4 ක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් මෙම වසරේදී රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15.9 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

වාහන ආනයන සීමා පසුගිය පෙබරවාරි මස 1 වැනිදා ලිහිල් කිරීමෙන් පසුව තිබූ ඉහළ වාහන ඉල්ලු‍ම ලබන වසරේදී සාමන්‍ය තත්වයට පත්වෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් එහිදී රජයේ ආදායම අඩුවීමට තිබෙන හැකියාව සැලකිල්ලට ගනිමින් රජයේ සමස්ත ආදායම සහ ප්‍රදාන සඳහා වන ලබන වසරේ ඉලක්කය සියයට 15.4 දක්වා පහළ දමා තිබෙන බවද සේනානායක මහතා පැවැසුවේය.

එසේම මෙම වසරේදී රජයේ බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 14.8 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය ලබන වසරේදී සියයට 14.2ක් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බවත් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

2014 වසරින් පසුව වසරේ ආදායම් ඉලක්කයෙන් පළමු මාස 9 තුළ වැඩිම මුදලක් උපයා ගැනීමට සමත්ව ඇත්තේ මෙම වසරේදී බවද සේනානායක මහතා පැවැසුවේය. මෙම වසරේ රජයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 4,960 ක් වූ බවත් ඉන් පළමු මාස නවය තුළදී රුපියල් බිලියන 3,827 ක මුදලක් උපයා ගැනීමට රජය සමත්වූ බවත් ඔහු ප්‍රකාශ කළේය. එය ප්‍රතිශතයක් ලෙස සියයට 77.2 ක් බවද ආචාර්යවරයා පැවැසුවේය.

මෙම වසරේ පළමු මාස නවය තුළදී මෙරට බදු ගෙවන සමාගම් ගණන 118,678 දක්වා වර්ධනය වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 25 ක වර්ධනයක් බවත් ආචාර්ය කපිල සේනානායක මහතා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ පළමු මාස නවය අවසානයේදී මෙරට බදු ගෙවූ සමාගම් ගණන 94,829 ක් බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම මෙම වසරේ පළමු මාස නවය අවසානයේදී මෙරට බදු ගෙවන තනි පුද්ගලයන් සංඛ්‍යාව 1,141,526 දක්වා වර්ධනය වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 

9 ට සාපේක්ෂව සියයට 37 ක වර්ධනයක් බවත් ආචාර්ය සේනානායන මහතා පැවැසුවේය. පසුගිය වසරේ පළමු මාස 9 අවසානයේදී මෙරට බදු ගෙවන තනි පුද්ගලයන් සංඛ්‍යාව 831,608 ක් වූ බවද ඔහු ප්‍රකාශ කළේය.

එකතු කළ අගය මත බද්ද ගෙවීම සඳහා ලියාපදිංචි වූ පුද්ගලයන් ගණන මෙම වසරේ පළමු මාස 9 අවසානයේදී 30,794 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 52 ක වර්ධනයක් බවත් ආචාර්යවරයා පැවැසුවේය. පසුගිය වසරේ පළමු මාස 9 අවසානයේදී එකතු කළ අගය මත බද්ද ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියේ 20,221 ක පුද්ගලයන් පිරිසක් බවද ඔහු ප්‍රකාශ කළේය.

එසේම මෙම වසරේ පළමු මාස 9 අවසානයේදී සමාජ ආරක්ෂණ බද්ද ගෙවීම සඳහා ලියාපදිංචි වී ඇති පුද්ගලයන් ගණන 15,189 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 35 ක වර්ධනයක් බවත් ආචාර්යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ පසුගියදා පැවැති පසු අයවැය විද්වත් කතිකාවතකට එක් වෙමින් මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා මෙම අදහස් පළ කළේය.



අදහස් (0)

2026 රජයේ සමස්ත ආදායම් ප්‍රදාන ඉලක්ක සියයට 15.4ට අඩු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site