භානුක අමරසිංහ
අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත 2026 අයවැය යෝජනා යටතේ මෙරට කර්මාන්ත වෙත මෙන්ම දෙස් විදෙස් ආයෝජන සම්බන්ධයෙන්ද යම් සහන සහ පහසුකම් ලබාදීමක් සිදු වනු ඇතැයි බලාපොරොත්තු තබා තිබෙන බව එම ක්ෂේත්‍රවලට සම්බන්ධ පිරිස් අදහස් පළ කරති.
ඒ අනුව ආයෝජන බැංකුකරණයේ විශේෂඥයකු සහ ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපතිවරයකුද වන තිලාන් විජේසිංහ, සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ සභාපති ජාවිඩ් කමිල් සහ අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ සභාපති කෞෂාල් රාජපක්ෂ යන මහත්වරුන් ලංකාදීපFT වෙත මෙලෙස සිය අදහස් දක්වා සිටියේය.
මෙහිදී තිලාන් විජේසිංහ මහතා අදහස් දක්වමින්, මෙවර අයවැය යෝජනා හරහා මූලිකවම මෙරට වෙත දෙස් විදෙස් ආයෝජන ආකර්ෂණය සඳහා වන බදු සහනවලට වඩා පැරා-තීරු බදු සම්බන්ධ රෙගුලාසි ලිහිල් කිරීමක් සිදු විය යුතුව තිබෙන බව පෙන්වා දෙයි.
“අයවැය හරහා අපි මූලිකවම බලාපොරොත්තු වෙන්නේ අනෙක් රටවල් හා සාපේක්ෂව බලලා, රට තුළ ව්‍යාපාරයක් ආරම්භ කිරීම පහසු කරවන රෙගුලාසි ලිහිල් කිරිමක්. උදාහරණයක් විදියට ගත්තොත් ආයෝජකයෙක් මේ රටට ඇවිල්ලා ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කලින් ඉදන්ම සෙස් බදු, සමාජ ආරක්ෂණ දායකත්ව බදු ඇතුළු පැරා-තීරු බදු රැසකටම යටත් වෙනවා. ආයෝජකයෝ බදු ගෙවන්න කැමැතියි, හැබැයි ව්‍යපෘතිය ආරම්භ කරලා ආදායම් ලබන කාලයේදී. ඒ නිසා අපි කියන්නේ පැරා-තීරු බදු ඇතුළත් මේ රෙගුලාසි ලිහිල් කරන්න කියලයි.“
මේ අතර ආයෝජන ව්‍යාපෘතියක් සම්බන්ධ වාර්තා සකස් කිරීමේදී දක්වන ප්‍රමාදයද ගැටලුවක් වන බව විජේසිංහ මහතා පවසයි.
“යම් ආයෝජන ව්‍යාපෘතියක පරිසර ඇගයීමේ වාර්තා හදන්න යන කොට රජයේ ආයතනවලට එක රෙගුලාසියකුත්, පෞද්ගලික අංශයට එක රෙගුලාසියකුත් තමයි ලැබෙන්නේ. උදාහරණයක් විදියට හෝටලයක් හදන්න යන කොට, පරිසර ඇගයීමේ වාර්තාවට අඩංගු කොන්දේසි පිටු 10ක් විතර තියෙනවා, ඊට අමතරව මහජනතාවගේ අදහස් ගන්න වැඩ කරන දින 30ක් ඒ කියන්නේ දවස් 45ක් ගන්නවා. ඇයි මේක සති දෙකකින් කරන්න බැරි. අන්තිමේදී තාක්ෂණික විශ්ලේෂන කමිටුවක් හරහා සිදු කරන විට අවුරුද්දක් ගිහින් ඉවරයි. මේවා ඇත්තෙන්ම කාර්යක්ෂම වෙන විදියට කළ යුතුයි.“
එහිදී ආයෝජකයන් හෙම්බත් නොකර, අවශ්‍ය විනිවිදභාවයකින් යුතු පහසුකම් ලබා දිය යුතු බව ඔහු පවසයි. “මේ අවස්ථාවේ ආයෝජකයන්ට තියෙන ලොකුම ප්‍රශ්නය නිලධාරින්ගේ අකාර්යක්ෂමතාවට වඩා ඔවුන් නියාමනයන්ට පමණක් කොටුකරලා තිබීම නිසා ඔවුන්ගෙන් හරි කාර්යසාධනයක් ලැබෙන්නේ නෑ. මේ තත්වය තමයි අයවැය යෝජනා හරහා වෙනස් විය යුත්තේ.“
සූර්ය බලශක්ති කර්මාන්ත සංගමයේ සභාපති ජාවිඩ් කමිල් මහතා අදහස් දක්වමින්, සූර්ය බලශක්ති උත්පාදනය කප්පාදු නොකර එය නිසි ලෙස පරිභෝජනය සඳහා වන යෝජනා අයවැය හරහා ඉදිරිපත් විය යුතු බව පෙන්වා දෙයි. එහිදී මූලිකවම බැටරි ආනයනයේදී සඳහා අය කරන බදු ඉවත් කිරීමක් හරහා ලබා දෙන සහනයක් මෙවර බලාපොරොත්තු වන බවත් ඔහු සඳහන් කරයි.
“අද වෙන කොට මේ බැටරි ගබඩා පහසුකම් පවතින සූර්ය බල ව්‍යාපෘති සඳහා ගෙවන ගාස්තුව ඉහළ දැමීමටත් රජය කටයුතු කර තිබෙනවා. ඒත් මේ බැටරි ආනයනයේදී අය කරන බද්ද ඉතාමත් වැඩියි. ඒ නිසා ජනතාව ඊට දක්වන උනන්දුව අඩුයි. ඒ නිසා අයවැයෙන් මේ බදු අඩු කරාවි කියන බලාපොරොත්තුව තියෙනවා.“
එසේම රට තුළ බලශක්ති සමතුලිතතාව පවත්වා ගැනීමට සූර්ය බලශක්ති නිෂ්පාදනය කප්පාදු කිරීම සඳහා කටයුතු නොකරන ලෙසද ඒ මහතා රජයට පෙන්වා දෙයි. “මේ ගැටලුව තියෙන්නේ ඉරිදාට නම්, අපි යෝජනා කරනවා ඉරිදා දවසට විදුලි වාහන ආරෝපණයට විශේෂ ගාස්තුවක් ලබා දෙන්න කියලා. මොකද අද වෙන කොට රට තුළ විශාල විදුලි වාහන ප්‍රමාණයක් තියෙනවා. එතකොට ඒ වාහන හිමිකරුවන්ට ඒ වාසිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම කර්මාන්තශාලාවලටත් ඉරිදාට සහනයක් දෙන්න පුළුවන් නම්, ඔවුන් වුණත් ඉරිදා දිනය වැඩ කරන දිනයක් බවට පත් කර ගනීවි.“ අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලයේ සභාපති කෞෂාල් රාජපක්ෂ මහතා අදහස් දක්වමින් මෙවර අයවැය හරහා මූලිකවම කර්මාන්තකරුවන් වෙත බලශක්තිය සම්බන්ධ සහනයක් බලාපොරොත්තු වන බව පවසා සිටියේය. එසේම සරල කළ බදු අහෝසිය මේ වනවිට ක්‍රියාත්මක වන නිසා රජය සඳහන් කළ පරිද්දෙන් දින 45ක් තුළ එම බදු සහනය අපනයනකරුවන් වෙත ලබාදීමට කටයුතු කළ යුතුව තිබෙන බවත් ඒ මහතා අවධාරණය කරයි. “ඒ වගේම තමයි මේ කර්මාන්තකරුවන් වෙත දිගු කාලයක් පුරා අවශ්‍යව පවතින සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරිම සම්බන්ධයෙන් මෙවර අයවැය හරහා යෝජනා ඉදිරිපත් වේවි කියන අපේක්ෂාවත් අපේ තියෙනවා. මොකද එය කර්මාන්තකරුවන්ට අවශ්‍ය ණය ලබා ගැනීමේදී එය සහනයක් වේවි.“ යනුවෙන්ද ඒ මහතා සඳහන් කළේය.
2026 අයවැය: ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නව අපේක්ෂා