වර්ධන ඉලක්ක සපුරා ගැනීමට වේගවත් ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවත් පෙන්වා දෙයි
භානුක අමරසිංහ
ජනාධිපතිවරයා විසින් පසුගියදා ඉදිරිපත් කරන ලද 2026 ජාතික අයවැය මඟින් ප්‍රතිපත්ති පුරෝකථනය කිරීමේ හැකියාව, මූල්‍ය ඒකාබද්ධතාව සහ විනයගරුක ණය කළමනාකරණය පිළිබඳ පැහැදිලි ගමන් මාර්ගයක් පවත්වා ගෙන යන බව පෙන්නුම් කරන බවත්, ඒ හරහා ශ්‍රී ලංකාවේ මධ්‍ය කාලීන ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට අවශ්‍ය ස්ථාවරත්වයේ අඛණ්ඩතාවක් පවතින බවත් ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
2026 ජාතික අයවැය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය මෙම කරුණු සඳහන් කර සිටියි. විශේෂයෙන්ම අඩු උද්ධමනය, ස්ථාවර පොලී අනුපාත සහ අලුත් වූ ආයෝජක විශ්වාසය මගින් පදනම් වූ පරිවර්තනීය වර්ධන මාර්ගයක් පවත්වා ගැනීම සඳහා මෙම තත්වය ඉතාමත් වැදගත් බවත් එම මණ්ඩලයේ අදහස වී තිබේ.
“අර්බුදයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් වීමත් සමගින්ම පරිභෝජනයේ වර්ධනය දැන් මධ්‍යස්ථ අගයක් ගනිමින් තිබෙනවා. ඒ අනුව මෑත කාලීනව පෙන්නුම් කළ මූල්‍ය අධි කාර්යසාධනය ඵලදායී රාජ්‍ය ආයෝජන බවට පරිවර්තනය කිරීම වැදගත්’’ එම මණ්ඩලය අවධාරණය කරයි.
විශේෂයෙන් යටිතල පහසුකම්, ඩිජිටල් සේවා, ප්‍රවාහනය, සංචාරක ව්‍යාපාරය, බලශක්තිය, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල ඉතාමත් හොඳ දැක්මකින් සහ මුලපිරීමකින් සිදු කරන ලද ප්‍රාග්ධන වියදම් ආර්ථික වර්ධනයේ මීළග ශක්තිය බවත් එම මණ්ඩලය පවසයි.
“මෙහිදී ඉලක්කගත සමාජීය සහ දරිද්‍රතාව පිටුදැකීමේ පියවර මගින් මෙම සංවර්ධනය සෑම දෙනාම ඇතුළත් සහ වඩාත් පුළුල් බෙදීයාමක් සහිත වන්නක් බවට සුරක්ෂිත කළ යුතුව තිබෙනවා.’’
මේ අතර, එම මණ්ඩලය මගින් ඉදිරිපත් කළ යෝජනා 18ක් මෙවර අයවැයට ඇතුළත් කර තිබීම තමන් දිරිමත් කරවන අවස්ථාවක් බවත් එම මණ්ඩලය සඳහන් කරයි. පහත සඳහන් අංශ ඊට ඇතුළත්ය:
“මෙහිදී අයවැය මඟින් වැදගත් ප්‍රතිසංස්කරණ කිහිපයක් දක්වා තිබෙනවා. ඒ අතරතුරදීම තිරසාර ආදායම් බලමුළු ගැන්වීම, කාර්යක්ෂමතා ජයග්‍රහණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු තීරණාත්මක අංශ තුනක් ඉස්මතු කර පෙන්වීමට අප කැමැතියි’’ ලංකා වාණිජ මණ්ඩල පවසයි.
1. කාල නියමයන් සහිතව ප්‍රධාන අයවැය යෝජනා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම: විශේෂයෙන්ම මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම මගින් අයවැයේ සාර්ථකත්වය තීරණය කරනු ඇත. වෙළෙඳ ජාතික තනි කවුළුව, PPP නීති සම්පාදනය, සංචාරක ව්‍යාපාරය සඳහා ගමනාන්ත අලෙවිකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සහ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් වැනි කැපවීම් ඉටු කිරීම යනාදිය ඊට උදාහරණ වෙයි.
2. බදු පරිපාලනය ශක්තිමත් කිරීම: බදු ජාලය පුළුල් කිරීම, අනුකූලතාව වැඩි දියුණු කිරීම සහ කාන්දුවීම් අඩු කිරීම සඳහා බදු පරිපාලනය ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම බදු අනුපාත වැඩිවීම්වලින් පමණක් නොව, වඩා හොඳ ක්‍රියාත්මක කිරීම් සහ පද්ධති වැඩිදියුණු කිරීම්වලින් ආදායම් ලාභ වැඩි වැඩියෙන් ලැබීමේ හැකියාවක් ඇත.
3. රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම: විශේෂයෙන් ඩිජිටල් රජය, රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, ඉඩම් කළමනාකරණය සහ වෙළෙඳ පහසුකම් සැපයීම යනාදී අපේක්ෂා සහගත ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට - ආයතනික මට්ටමෙන් සිදුවිය යුතු වැඩි දියුණු කිරීම්, ආයතන අතර සම්බන්ධීකරණය සහ කාලෝචිත තීරණ ගැනීමත් අත්‍යවශ්‍ය වෙයි.
“ගෝලීය වෙළෙඳ ප්‍රතිසංවිධාන මධ්‍යයේ උපායමාර්ගික සැපයුම් දාම හවුල්කරුවකු ලෙස ස්ථානගත වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින්, ඉලක්කගත ආයෝජන දිරිගැන්වීමේ පැකේජ හරහා ආයෝජක විශ්වාසය තවදුරටත් ශක්තිමත් කිරීමට මෙවර අයවැයට හැකිව තිබෙනවා’’ ලංකා වාණිජ මණ්ඩලය පවසයි.
විශේෂයෙන්ම අයවැයේ දක්වා ඇති සියයට 7ක වර්ධන ඉලක්කය සපුරා ගැනීම සඳහා අවශ්‍ය මහා පරිමාණ, අපනයන - නැඹුරු සහ තාක්‍ෂණය මත පදනම් වූ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පැහැදිලි සහ තරගකාරී දිරිගැන්වීම් අත්‍යවශ්‍ය වන බව එම මණ්ඩලය පෙන්වා දෙයි.
“එසේම මෙම ව්‍යුහාත්මක පියවරයන්ගෙන් අපේක්ෂා කරන වර්ධන ලාභාංශ ලබා දීම සඳහා රජය සතු ව්‍යවසාය සහ රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ප්‍රතිසංස්කරණවලට අදාළ නීති සම්පාදනයද වේගවත් කළ යුතුව තිබෙනවා.’’
ඒ අනුව මෙම ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා ලංකා වාණිජ මණ්ඩලය රජය, සංවර්ධන හවුල්කරුවන් සහ පෞද්ගලික අංශය සමග සමීපව කටයුතු කිරීමට කැපවී සිටින බවත් මෙහිදී අවධාරණය කරයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය කල් පවතින, පුළුල් පදනමක් සහිත සහ දිගුකාලීන වර්ධනයක් බවට පරිවර්තනය කිරීම සහතික කිරීම සඳහා ව්‍යුහාත්මක සහ ආයතනික ප්‍රතිසංස්කරණ පිළිබඳ තිරසාර දැක්ම ප්‍රධාන වනු ඇතැයිද ලංකා වාණිජ මණ්ඩලය අවසන් වශයෙන් සඳහන් කර සිටියි.
2026 අයවැය රජයේ ප්‍රතිපත්ති ස්ථාවරත්වය ශක්තිමත් කරන්නක් - ලංකා වාණිජ මණ්ඩලය