IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


2026 අයවැය අභියෝග දිළිදුකම පහත හෙලන බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාව

 

 

වත්මන් ආදායම් බදු ව්‍යුහය ද ඉතාමත් අනර්ථකාරී වූවක් බව ඉතා පැහැදිලි කරුණකි. විශේෂයෙන්ම, උපයන විට ගෙවනු ලබන බද්ද හේතූවෙන් දැඩි අසරණ තත්වයකට ඇද දමා තිබේ. පැවති ඉහළ උද්ධමනය හේතූවෙන් වැටුපෙන් මිලට ගත හැකි මූර්ත භාණ්ඩ සහ සේවා ප්‍රමාණය හරි අඩකින් 2022ට සාපෙක්ෂව පහළ ගිය අතර උපයන විට බදු ගෙවිමට සිදුවීමෙන් වැටුප් මත ජීවත්වන බහුතර පිරිසක් මහත් අසරණ තත්වයකට ඇද දමන ලදී.

2022 වසරේ අත්දකින ලද ආර්ථික අර්බුදයට බලපෑ කෙටි කාලීන හේතූ අතර රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව බරපතළ ලෙස පහත වැටීම දැක්විය හැකිය. 2022 දී රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.2ක් පමණ වූ අතර එම මට්ටම සංවර්ධනය වෙමින් පවතින රටක සාමාන්‍යයෙන් පැවතිය යුතු මට්ටමට වඩා හරි අඩක් විය. දිගින් දිගටම රාජ්‍ය ආදායම සහ වියදම අතර ඉහළ පරතරයක් පැවතීමේ ප්‍රතිඵලය වූයේ ක්‍රමිකව ඉහළ යන ලද රාජ්‍ය ණය බරයි. මේ නිසාම, ආර්ථික අර්බුදයට පිළියම් වශයෙන් කෙටි කාලීනව රාජ්‍ය ආදායම ඉහළනැංවිම අත්‍යවශ්‍ය කටයුතතක් වූ අතර එම අරමුණ ජය ගැනිමට රජය කඩිනමින් පැවති බදු ප්‍රතිශත ඉහළනැංවිම සහ අලු‍තින් බදු හඳුන්වා දීම සිදුකරන ලදි. 
එය කළ යුතුව පැවති තත්වයක් වූ අතර එවැනි බදු පැනවීමේ දි එමගින් ආර්ථික වර්ධනයට හෝ දිළිඳු ජන කොටස් වලට කුමන බලපෑම් සිදු වන්නේද යන්න විමසා බැලීමට හැකියාවක් නොවිනි. එවැනි ප්‍රතිපත්තිකරණයක් අර්බුදයක් තුළ සාධාරනීකරණයක් කළ හැක්කක් වූයේ ආර්ථික ස්ථායීකරණය සඳහා බදු ආදායම් නංවා ගැනීම අත්‍යවශ්‍ය වූවක් විය. එම බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ආර්ථිකය තුළ දැඩි හැකිළීමක් වූවා පමණක් නොව පහළ ආදායම් ලබන්නන් පමණක් නොව මැදි ආදායම් ලබන්නෝ පවා දැඩි පීඩාවකට පත් වූහ. එපමණක් නොව සුළු සහ මධ්‍යම ව්‍යාපාර දැඩි අසීරුතාවලට පත්විය. මෙම ලිපියේ අවධානය යොමු වන්නේ දැනට පවතින බදු ප්‍රතිපත්තිය 2026 වර්ෂය සඳහා ඉදිරියේ දී ඉදිරිපත් කරනු ලබන අයවැයෙන් සංශෝධනය කළ යුත්තේ ඇයිද යන්න සහ එසේ කරනු ලබන සංශෝධන කුමනාකරයට සිදුවිය යුතුද යන්න පිළිබඳවය.


 වත්මන් බදු ප්‍රතිපත්තිය  සංශෝධනය විය යුත්තේ ඇයි? 


2022 දී දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස රාජ්‍ය බදු ආදායම සියයට 7.3 ක් වූ අතර 2024 වර්ෂය වන විට එම ප්‍රතිශතය 12.4 දක්වා වර්ධනය වී ඇති අතර 2025 වර්ෂයට අදාළව එය සියයට 13.9ක් දක්වා ඉහළ යතැයි පුරෝකථනය කර ඇත. ඒ අනුව, බදු නොවන ලැබීම් ද ඇතුළුව, 2025 රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 15.1 දක්වා වර්ධනය වෙතැයි මුදල් අමාත්‍යාංශය පුරෝකථනය කර ඇත. ඉතා කෙටි කලක් තුළ බදු ආදායම මෙලෙස ඉහළයාමට මූලිකතම හේතුව වූයේ පැවති බදු අනුපාත ඉහළනැංවිම සහ නව බදු හඳුන්වා දීමට පැවති රජය කටයුතු කිරිමය. මින් ඉහත දී සඳහන් කළ පරිදි එවැනි බදු සංශෝධන ආර්ථිකය ස්ථියීකරණය සඳහා කළ යුතුව පැවතිණි.
 බදු සංශෝධනවලට අදාළව අවධානය යොමු කිරිමේ දී වැට් බද්දට සහ ආදායම් බදුවලට අදාළව කරනු ලැබූ සංශෝධන කැපී පෙනෙන ලෙස රජයේ බදු ආදායම ඉහළනැංවිමට හේතූ වී ඇති බව දත්ත මගින් පෙන්නුම් කෙරේ. උදාහරණයක් ලෙස 2020 වර්ෂයේ දි වැට් බදු, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.5 දායකත්වයක් දැක්වූ අතර එම ප්‍රතිශතය 2024 වන විට එය සියයට 4.4 දක්වා එනම් තුන් ගුණයකින් ඉහළ යන ලදී. 2020 වර්ෂයේ දී ආදායම් බදු, ද.දේ. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 1.7ක දායකත්වයක් දැක්වූ අතර එය 2024 වන විට 3.4 දක්වා එනම් දෙගුණයකින් වර්ධනය විය. 2024 වර්ෂයේ දී සෙසු බදු මගින් කරනු ලැබූ දායකත්වය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස එක්කෝ 2020 මට්ටමේම හෝ ඊට වඩා පහළ මට්මටම පැවතිණි. ඒ අනුව රාජ්‍ය බදු ආදායම ඉහළනැංවීම සඳහා වැඩිම දායකත්වය ලබා දී ඇත්තේ බැට් බදු බව ඉතා පැහැදිලිය. 
වැට් බදු යනු වක්‍ර බද්දක් වන අතර එහිදී අඩු ආදායම්ලාභීන්ට සාපේක්ෂව වැඩි බදු බරක් පැටවේ. වැට් බද්ද වැනි වක්‍ර බදු අයකිරිමේ මූලික මූලධර්මයක් වන සාධාරණබවේ මූලධර්මය සහමුලින්ම උල්ලංඝනය කරනු ලබයි. විශේෂයෙන්ම පෙර පැවති වැට් බදු නිදහස් කිරීම් ඉවත් කිරිම සහ වැට් බදු ප්‍රතිශත සියයට 18 දක්වා ඉහළ දැමීමෙන් අඩු ආදායම්ලාභීන්ගේ ජීවන බර දැඩි ලෙස ඉහළනංවන ලදී. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් හතරෙන් එකක් දුප්පතුන් වේ. ඒ අනුව ගත්කල වත්මන් වැට් බදු අනුපාත දුප්පතුන්ට ඉතාමත් අභිතකරව බලපාන අතර දුප්පත්කම පහත හෙළීමට කළයුතු මූලික මැදිහත් වීමක් වන්නේ වත්මන් වැට් බදු ප්‍රතිපත්තියට අදාළව සංශෝධන ගෙන ඒමය. මෙම කරුණ ලෝක බැංකුව ද අවධාරණය කර සිටී. ඒ අනුව, 2026 සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැයේ රජය මගින් වැට් බදු සංශෝධන ඉදිරිපත් කිරීම සිදුකළ යුතුව ඇත. 
වත්මන් ආදායම් බදු ව්‍යුහය ද ඉතාමත් අනර්ථකාරී වූවක් බව ඉතා පැහැදිලි කරුණකි. විශේෂයෙන්ම, උපයන විට ගෙවනු ලබන බද්ද හේතූවෙන් දැඩි අසරණ තත්වයකට ඇද දමා තිබේ. පැවති ඉහළ උද්ධමනය හේතූවෙන් වැටුපෙන් මිලට ගත හැකි මූර්ත භාණ්ඩ සහ සේවා ප්‍රමාණය හරි අඩකින් 2022ට සාපෙක්ෂව පහළ ගිය අතර උපයන විට බදු ගෙවිමට සිදුවීමෙන් වැටුප් මත ජීවත්වන බහුතර පිරිසක් මහත් අසරණ තත්වයකට ඇද දමන ලදී. පසුගිය අයවැය තුළ යම් යම් සංශෝධන හඳුන්වා දුන්න ද ඒ හරහා දැනෙන පිළිසරණක් නොලැබිණි. විශේෂයෙන්ම වත්මන් උපයනවිට ගෙවනු ලබන බද්ද ආර්ථික ක්‍රියාකම් සඳහා ද ඉතා අහිතකර වේ. එමගින් ආර්ථිකයේ සමස්ත ඉල්ලු‍ම පහත හෙළන අතර ඉතිරිකිරිම් අඩපණ කිරීම සහ ව්‍යවසායකත්වය සඳහා ද අහිතකරව බලපානු ලබයි. එමෙන්ම ශ්‍රම ඵලදායීතාවට සහ ශ්‍රම සාභගීත්වයට ද මෙමගින් අහිතකර බලපෑම් ඇති කරයි. 2022 ආර්ථික අර්බුදය යටතේ කරනු ලැබූ බදු සංශෝධන මගින් එතෙක් යම් සහනද‌ායී මට්ටම් යටතේ බදු අයවූ සමහර අංශවලවලට අදාළව පැවති සහන ඉවත් කරන ලදී. ඉන් ප්‍රමුඛතම අංශ දෙකක් වන්නේ අපනයන අංශය සහ සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලාබ මත අය වූ බදු අනුපාතයි. 
ඒ අනුව එතෙක් සියයට 14ක පමණ මට්ටමේ පැවති බදු අනුපාත සියයට 30 දක්වා ඉහළනංවන ලදී. 2022 ආර්ථික අර්බුදය හමුවේ බදු සංශෝධන කිරිමේ දී මූලික වශයෙන්ම ප්‍රකාශ කෙරෙණු කරුණක් වූයේ වසර 2-3 ක් ඇතුළත බදු අයකිරීමේ කාර්ක්ෂමතාව ඉහළනැංවිම, බදු පැහැර හැරීම් සහ බදු අවතක්සේරු කිරීම් වළක්වාලීමත් සමග බදු ප්‍රතිශත පහත දැමිය හැකිය යන්නයි. ඒ අනුව, ජනතාව මෙන්ම ව්‍යාපාර ද තමන් මුහුණ දෙනු ලබන බදුබර ක්‍රමිකව සැහැල්ලු‍ වෙතැයි අපේක්ෂා කළහ. ඒ අනුව 2026 වර්ෂයට අදාළව ඉදිරිපත් කරනු ලබන අයවැයෙන් ආර්ථික වර්ධනය දිරිමත් කිරීම ඉලක්ක කරමින් බදු සහන ලබාදීමක් සිදුවිය යුතුව ඇත. අපේක්ෂා කළ පරිදි බදු එකතු කිරීමේ කාර්යක්ෂතාව ඉහළ ගියේ නම් සහ නව තාක්ෂණය සහ නිතිරීති මගින් බදු පැහැර හැරීම සහ අවතක්සේරුව අවමකොට ඇත්තේ නම් සමස්ත බදු ආදායමට බලපෑමක් ඇති නොවන අයුරින් බදුබර අඩු කිරිමේ හැකියාව රජයට ඇත. එමෙන්නම් 2022-2023 වර්ෂවල ඉතා පහළ අගයක් ගත් රජයට ලැබෙන තීරු බදු ආදායම නැවත සක්‍රියව ඇති අතර වාහන ආනයනයෙන් සැලකිය යුතු ආදායමක් රජය දැනටමත් ලබා ගනිමින් සිටි. මධ්‍ය මගින් වාර්තා කළ පරිදි 2025 ජුනි - ජූලි කාලයට අදාළව රේගුව මගින් වාහන ආනයනයෙන් බදු වශයෙන් රුපියල් බිලියන 165 ක් පමණ ලබාගෙන ඇත. අනෙක් අතට රජයට දැනට යම් ආදායම් ඉතිරියක් ද (Fiscal Buffer) පවතින හෙයින් බදු සංශෝධනයක් සඳහා ගමන් කිරිමේ හැකියාව ඕනෑවටත් වැඩියෙන් පවතී. විශේෂයෙන්ම තිරසාරව ඉහළ ආර්ථික වර්ධනයක් පවත්වා ගැනීමට නම් දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජන ප්‍රවර්ධනය කළ යුතු අතර මේ සඳහා ද යම් බදු සහන ලබා දිය යුතුව ඇත. විශේෂයෙන්ම සඳහන් කළ යුතු මූලික කරුණක් වන්නේ කුමන බදු සංශෝධනයක් කළද රජයට ලැබෙන බදු ආදායම ද.දේ. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස පහත නොහෙළීමට වගබලා ගතයුතු බවයි. 


 හඳුන්වාදිය යුතු  නව බදු මොනවාද? 


බදු සංශෝධන මගින් සහන ලබාදීමට කටයුතු කරන්නේ නම් නිතැතින්ම අවධානය යොමු කළ යුතු අංශයක් වනුයේ බදු සංශෝධන හේතුවෙන් අහිමිවන ආදායම ලබාගැනීම සඳහා කුමක් කළ යුතු ද යන්නයි. මේ සඳහා රජයට හඳුන්වාදිය හැකි එක් බදු වර්ගයක් වන්නේ ධන බද්දයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා යෝජනා කර ඇති මෙම බදු ක්‍රමය මගින් ඇති හැකි අය ඉලක්ක කරමින් බදු අයකිරිමේ හැකියාව පවතී. දේපළ මත අයකරනු ලබන බද්දෙන් දේපළ යහමින් තිබෙන පිරිස බදු ගෙවීම සඳහා යොමුකර ගත හැකි අතර එවැනි බදු ක්‍රමයක් සාධාරණබවේ මූලධර්මය සමග සංගත වීමක් ද සිදුවේ. 
ලෝකයේ බොහෝ රටවල ධන බද්ද/දේපළ බද්ද ක්‍රියාත්මක වන අතර ලංකවේ ද ඉතිහාසයේ මෙම බදු ක්‍රමය ක්‍රියාත්මකව පැවතිනි. ධන බද්ද හඳුන්වාදීම සඳහා පෙර වර්ෂයේ දී රජය යෝජනා කළ අවස්ථාවේ දී ඒ සඳහා යම් විරෝධයක් සමාජය තුළ ඇති විය. එම විරෝධයට හේතූ වුයේ ජනතාව අතර වැරදි වැටහීමක් පැවතීම හෝ ඇති කිරීම නිසාවෙනි. ඇතම් මාධ්‍ය මගින් පුද්ගලයන් පදිංචිව සිටින නිවාසවලට ද බද්දක් අයකිරීමට රජය සැරසේය යන්න කරණු හරිහැටි අවබෝ කරගැනීමකින් තොරව වාර්තා කළ අතර ඒ හේතුවෙන් පසුගිය රජය එම බද්ද ක්‍රියාත්මක කිරීම පසුවට තබන ලදී. 
වත්මන් රජය ද ධන බද්ද ක්‍රියාත්මක කිරීමට අදහසක් නැතැයි ප්‍රකාශ කරන ලදී. මෙම බද්ද හඳුන්වා දීමට කටයුතු කළයුතුව ඇති අතර එම බද්ද පිළිබඳව ජනතාව ප්‍රමාණවත් පරිදි දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගතයුතුව ඇත. එමෙන්ම බදු අයකිරීමේ ක්‍රමය තවදුරටත් ශක්තිමත් කිරීම ඉතාමත් අත්‍යවශ්‍යව පවතින අතර ඒ සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට අවශ්‍ය පියවර ගතයුතුව ඇත. 
රාජ්‍ය ආදායම් ඉලක්ක සපුරා ගන්නා අතරම තිරසර ආර්ථික වර්ධනය සහ දුප්පත්කම පහත හෙළීම ඉලක්ක කරගනිමින් වත්මන් බදු ප්‍රතිපත්තිය 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කිරිමට නියමිත අයවැය තුළ සංශෝධනයට ලක්විය යුතුව ඇත. 2024 වර්ෂය අවසන් වීමටත් මත්තෙන් ආර්ථික ස්ථායීකරණ අරමුණු ජය ගැනීමට රටට හැකි විය. 
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන තුළ පළමු වසර දෙකක කාලය තුළ එම අරමුණ ජය ගැනීම ප්‍රමුඛතම කාර්යය විය. එම වැඩසටහන යටතේ දෙවැනි වසර දෙකක කාලය මූලික වශයෙන්ම අවධානය යොමු කළ යුතුව ඇත්තේ තිරසර ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීම ඉලක්ක කරමින් ආර්ථිකයේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වේ. ඒ සඳහා ආර්ථික වැඩපිළිවෙළක් නැතහොත් ජාතික සංවර්ධන සැලස්මක් ඉදිරිපත් විය යුතුව ඇත. 
එම සැලස්ම මත පිහිටා අනෙකුත් ක්ෂේත්‍ර උදහරණයක් වශයෙන් අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මය වැනි අංශවලට ප්‍රතිපත්ති සකස් කළයුතු වේ. තවමත් ජාතික සංවර්ධන සැලස්මක් එළි දැක්විය යුතුව ඇත. ඒ වෙනුවට ක්ෂේත්‍ර කිහිපයක ප්‍රතිත්ති සකස් කිර්මක් පිළිබඳව අසන්නට ලැබෙන අතර ජාතික සංවර්ධන සැලස්මකින් තොරව එවැනි ආංශික ප්‍රතිපත්ති සකස් කරන්නේ කෙසේද යන්න ගැටලු‍ සහගතය. 
එබැවින් 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලබන අයවැය හුදු රජයේ වාර්ෂික ආදායම්-වියදම් ලේඛනයකින් ඔබ්බට ගොස් ඉහළ තිරසර ආර්ථික වර්ධනයක් ලබා ගැනීම මෙන්ම දුප්පත්කම පහත හෙළීම සඳහා ප්‍රතිපත්ති යෝජනා අඩංගු ලියවිල්ලක් බවට පත්විය යුතුව ඇත. දැනට ලබා ඇති ආර්ථික ස්ථායීතාව දිගු කාලීනව ආරක්ෂා කරගනිමින් සංවර්ධනය සඳහා ගමන් කළ හැක්කේ සංවර්ධනය පිළිබඳ වේදිකාවල කියවෙන හිස් වචනවලින් නොව පොළොවේ සැබෑවටම ක්‍රියාත්මක කෙරෙන ප්‍රතිපත්තිවලින් වේ.  



අදහස් (0)

2026 අයවැය අභියෝග දිළිදුකම පහත හෙලන බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site