IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


2025 පළමු මාස හතේදී ජංගම ගිණුමේ අතිරික්තයක්

 

  • වෙළෙඳ හිඟය ඩොලර් බිලියන 3.9 ක්
  • ජූලි අවසානය දක්වා සමස්ත අපනයන ආදායම ඩො.බි.12 ක් 
  • ඉන් ඩොලර් බිලියන 7.8 ක් භාණ්ඩ අපනයන ආදායමෙන්
  •  පළමු මාස 7දී සේවා අපනයන ආදායම ඩොලර් බිලියන 4.2 ක් 
  • ජූලි මාසයේදී මෙරට සේවා අපනයන පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 8.8 ක වර්ධනයක්
  • ජූලි මාසයේදී සේවා අංශයේ ශුද්ධ ලැබීම් සුළු අඩුවීමක්
  • ජූලි මාසයේදී මෙරට වෙළෙඳ හිඟය ඩොලර් මිලියන 580 ක්
  • පළමු මාස හතේදී සංචාරක ආදායම ඩොලර් බිලියන 2 ක්

විමුක්ති එස්.රුද්‍රිගු


පසුගිය ජූලි මාසයේදීද විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් වීම හේතුවෙන් මෙම වසරේ පළමු මාස 7 පුරාවට මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා කර ඇති බවත් ආනයනවල වර්ධනයට වඩා අපනයනවල වර්ධනය වැඩිවීම නිසා පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූලි මාසයේදී වෙළෙඳ හිඟය අඩුවී ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මෙම වසර ආරම්භය සිට පසුගිය ජූලි මාසය අවසානය දක්වා මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව සියයට 6.7 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.
ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 7.8ක් භාණ්ඩ අපනයන ආදායම බවත් එයද පසුගිය වසරේ පළමු මාස 7ට සාපේක්ෂව සියයට 7.1 ක වර්ධනයක් බවත් එම වාර්තා වේ සඳහන් වේ. එසේම පළමු මාස 7දී සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 ක් බවත් පසුගිය වසරේ පළමු මාස 7ට සාපේක්ෂව එයද සියයට 5.8 ක  වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
එසේම මෙම වසරේ ජූලි මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් බවත් පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව එය සියයට 6.2ක වර්ධනයක් බවත් මහ බැංකු දත්ත වාර්තාවේ දැක්වේ. ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.3 ක් භාණ්ඩ අපනයන ආදායම බවත් පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව එය සියයට 15.2 ක වර්ධනයක් බවත් දත්ත වාර්තාවල සඳහන් වේ. එය ජූලි මාසයකදී භාණ්ඩ අපනයනයෙන් ඉපැයූ වැඩිම ආදායම බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම වසරේ ජූලි මාසයේදී මෙරට සේවා අපනයන පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 8.8 ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බවත් පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරට සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 618 ක් බවත් එම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 11.6 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස 7ට සාපේක්ෂව සියයට 11.8 ක් බවත් එම වාර්තාවේ දැක්වේ. 

එසේම පසුගිය ජූලි මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.88 ක් බවත් එය පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 8.5 ක වර්ධනයක් බවත් එහි සඳහන් වේ.
පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව පසුගිය ජූලි මාසයේදී වාහන ආනයනය සඳහා වූ වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 193 ක් බවත් මෙම වසරේ පළමු මාස 7 තුළ වාහන ආනයනය සඳහා මුළු වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 668 ක් බවත් එම දත්ත වාර්තාවේ දැක්වේ.
අපනයන මිල ගණන් ඉහළ යාම ඉක්මවා ආනයන මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පසුගිය ජූලි මාසයේදී වෙළෙඳ මිල අනුපාතය පහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තාවේ සඳහන් වේ.
ඒ අනුව මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.9 ක් වූ බවත් පසුගිය වසරේ පළමු මාස 7 තුළදී මෙරට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.1 ක් බවත් එහි දැක්වේ. එසේම මෙම වසරේ ජූලි මාසයේදී මෙරට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 580 ක් බවත් පසුගිය වසරේ ජූලි මාසයේදී මෙරට වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 604 ක් බවත් එහි සඳහන් වේ.
මෙම වසරේ පළමු මාස 7 තුළදී සේවා අංශයේ ශුද්ධ ලැබීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.4 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස 7ට සාපේක්ෂව සියයට 3.3 ක වර්ධනයක් බවත් එම වාර්තාවේ දැක්වේ. කෙසේ නමුත් මෙම වසරේ ජූලි මාසයේදී සේවා අංශයේ ශුද්ධ ලැබීම් සුළු අඩුවීමක් වාර්තා කර තිබෙන බවද එහි සඳහන් වේ.
එසේම මෙම වසරේ පළමු මාස 7 දී මෙරට සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දත්ත වාර්තාව පෙන්වා දුන්නේය.
2025 වසරේ ජූලි මාසයේදී මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් මිලියන 318 ක් බවත් එය පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව සියයට 3 ක අඩුවීමක් බවත් එම දත්ත වාර්තාවල දැක්වේ. එසේම මෙම වසරේ ජූලි මාසයේදී විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට ඇමෙරිකානු ඩොලර් මිලියන 697 ක් මෙරටට ඒවා තිබෙන බවත් පසුගිය වසරේ ජූලි මාසයට සාපේක්ෂව එය සියයට 23 ක වර්ධනයක් බවත් එම වාර්තාව පෙන්වා දුන්නේය.



අදහස් (0)

2025 පළමු මාස හතේදී ජංගම ගිණුමේ අතිරික්තයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site