IMG-LOGO

2025 සැප්තැම්බර් මස 03 වන බදාදා


2025 පළමු අර්ධයේදී සම්පත් සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි

සම්පත් බැංකුව 2025 වසරේ පළමු අර්ධය සඳහා බදු පෙර ලාබය රුපියල් බිලියන 24.4 ක්ද, බදු පසු ලාබය රුපියල් බිලියන 14.7 ක්ද වාර්තා කිරීමට සමත් වූ අතර, එම අගයන් 2024 වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේදී සියයට 32 ක වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කරයි. මීට අමතරව සියයට 32 ක වාර්ෂික වර්ධනයක් සහිතව සම්පත් සමූහය ද රුපියල් බිලියන 26.0 ක බදු පෙර ලාබයක් ද, රුපියල් බිලියන 15.6 ක බදු පසු ලාබයක් ද වාර්තා කළේය. 

සලකනු ලබන කාල පරිච්ඡේදය සඳහා බැංකුවේ මුළු පොලී ආදායම රුපියල් බිලියන 89.4 ක් වූ අතර, එය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 6 ක පහත වැටීමකි. මේ සඳහා, සලකනු ලබන කාලපරිච්ඡේදයේදී අවදානම් මත බර තබන ලද ප්‍රමුඛ ණය අනුපාතය (AWPLR) පහත වැටීම හා රජයේ සුරැකුම්පත්වල පොලී අනුපාත පහත වැටීම මූලික වශයෙන් හේතු විය. එසේම වෙළෙඳපොළ පොලී අනුපාතයන් පහත වැටීම හේතු කොට‌‌ගෙන බැංකුවේ පොලී වියදම ද සියයට 6 ක පහත වැටීමක් සහිතව රුපියල් බිලියන 50.8 ක් ලෙස වාර්තා විය. මේ අනුව බැංකුවේ ශුද්ධ පොලී ආදායම 2025 වසරේ පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 38.6 ක් ලෙස වාර්තා වූ අතර, මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 6 ක පහත වැටීමකි. එසේම ශුද්ධ පොලී ආන්තිකය 2024 වසර අවසානයේ දී වාර්තා වූ සියයට 4.90 සිට 2025 වසරේ පළමු අර්ධය අවසාන වන විට සියයට 4.24 ක් දක්වා පදනම් ලකුණු 66 කින් පහත වැටිණ.

2025 වසරේ පළමු අර්ධය සඳහා සම්පත් බැංකුවේ අරමුදල් මත පදනම් නොවූ ආදායම රුපියල් බිලියන 15.9 ක් ලෙස වාර්තා වූ අතර, එය පසුගිය වසර හා සැසඳීමේ දී සියයට 122 ක වාර්ෂික වර්ධනයකි. කාඩ්පත්, ණය, වෙළෙඳාම්, මෙහෙයුම් හා ඉලෙක්ට්‍රොනික බැංකු සේවා ඇතුළු බහුවිධ අංශ වලින් ලද ආදායම් ඉහළ යාම හේතුවෙන් ශුද්ධ ගාස්තු හා කොමිස් ආදායම 2024 වසරේ පළමු අර්ධයට සාපේක්ෂව සියයට 12 කින් ඉහළ යන ලදී. 

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල, රුපියල් 6.58 කින් අවප්‍රමාණය වීම හේතුවෙන් පසුගිය වසරේ පළමු අර්ධය සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 2.7 ක විනිමය අලාභයට සාපේක්ෂව 2025 වසරේ පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 2.4 ක මුළු විනිමය ලාබයක් වාර්තා කිරීමට බැංකුවට හැකි විය. 

2025 වසරේ පළමු අර්ධය සඳහා බැංකුව රුපියල් බිලියන 1.4 ක අපහායන අයකිරීමක් වාර්තා කරන ලද අතර, මෙය පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී සියයට 78 ක පහත වැටීමකි. මෙය ණය හා අත්තිකාරම් සඳහා රුපියල් බිලියන 1.4 ක අයකිරීමකින්ද, (1H 2024 - රුපියල් බිලියන 3.7), වෙනත් මූල්‍ය වත්කම් සඳහා රුපියල් බිලියන 0.6 ක අයකිරීමකින්ද (1H 2024 - රුපියල් බිලියන 1.0), අනෙකුත් බැඳීම් හා අසම්භාව්‍යයන්ට එරෙහිව රුපියල් බිලියන 0.6 ක ආපසු හැරවීමකින්ද, (1H 2024 - රුපියල් බිලියන 1.5 ක අයකිරීමක්) සමන්විත විය.

සලකනු ලබන කාලපරිච්ඡේදය සඳහා මෙහෙයුම් වියදම් පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් වාර්තා කරන ලද අතර මේ සඳහා වාර්ෂික වැටුප් වර්ධකය හේතුවෙන් පුද්ගල පිරිවැය හා අනෙකුත් මෙහෙයුම් වියදම් ඉහළ යාම මූලික වශයෙන් හේතු විය.

මීට අමතරව මුළු බදු වියදම 2024 වසරේ පළමු අර්ධය සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 12.9 සිට 2025 වසරේ පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 16.7 ක් දක්වා සියයට 29 කින් ඉහළ යන ලද අතර, මේ සඳහා බදු අය කිරීමට යටත් වූ ආදායමේ ඉහළ යාම මූලික වශයෙන් හේතු විය. 

වර්ෂය පුරාවට සියලු‍ම ප්‍රාග්ධන අනුපාත අවම නියාමන අවශ්‍යතාවලට වඩා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට බැංකුව සමත් විය. 2025 ජුනි 30 වන දිනට පළමු පෙළ සාමාන්‍ය ස්කන්ධ ප්‍රාග්ධන අනුපාතය, පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය හා මුළු ප්‍රාග්ධන අනුපාත පිළිවෙළින් සියයට 15.64, සියයට 15.64 හා සියයට 19.16 ක් ලෙස වාර්තා කරන ලදී. 

2025 පළමු අර්ධයේදී අායෝජන හා ණය කළඹ ඉහළ යාම හේතුවෙන් සම්පත් බැංකුවේ මුළු වත්කම් සියයට 8.4 ක වර්ධනයක් (17% ක වාර්ෂික වර්ධනයක්) සහිතව 2024 දෙසැම්බර් 31 දිනට පැවැති රුපියල් ට්‍රිලියන 1.78 සිට 2025 ජුනි 30 වන දින වන විට රුපියල් ට්‍රිලියන 1.93 ක් දක්වා ඉහළ යන ලදී. 

සලකනු ලබන කාල පරිච්ඡේදය තුළදී, සම්පත් බැංකුවේ මුළු ණය කළඹ රුපියල් බිලියන 68 කින් වර්ධනය වී, 2024 අවසානයේ පැවැති රුපියල් බිලියන 964.6 සිට 2025 ජුනි 30 වන විට රුපියල් බිලියන 1,032.9 ලෙස වාර්තා වූ අතර එය සම්පත් බැංකු ඉතිහාසයේ පළමු වතාවට ණය කළඹ රුපියල් ට්‍රිලියනය ඉක්මවීම ලෙස වාර්තා විය.

තවද 2025 වසරේ පළමු අර්ධය අවසානයේදී සම්පත් සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවා යාමට සමත් විය. 

තවද මුළු තැන්පතු ප්‍රමාණය ඉහළ යාම හේතු කොට‌ගෙන බැංකුවේ මුළු වගකීම් 2024 වසර අවසානයේ සිට සියයට 9.3 ක වර්ධනයක් (සියයට 18.8 ක වාර්ෂික වර්ධනයක්) සහිතව 2025 ජුනි 30 වන විට රුපියල් ට්‍රිලියන 1.76 ක් දක්වා ඉහළ යන ලදී.



අදහස් (0)

2025 පළමු අර්ධයේදී සම්පත් සමූහයේ මුළු වත්කම් රුපියල් ට්‍රිලියන 2 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site