IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


2025 කොළඹ කොටස් හුවමාරුවට වාර්තාගත වසරක්

  • ASPI ඒකක 6,097 කින් සහ S&PSL20 ඒකක 1,139 කින් ඉහළට

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ දර්ශක අගයන් ඊයේ (30) දිනයේදී කැපී පෙනෙන ලෙස ඉහළ යාමක් වාර්තා විය. ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 22,445.89ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 313.56 කින් එනම් සියයට 1.42 කින් ඉහළ යාමකි. ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් (S&PSL20) ඒකක 6,111.35ක් දක්වා පෙර දිනයට සාපේක්ෂව ඒකක 73.56 කින් එනම් සියයට 1.22කින් ඉහළ යාම සිදු විය. දිනය තුළ කොටස්  මිලියන 101.3 ක් ගනුදෙනු වූ අතර, රුපියල් බිලියන 3.42 ක පිරිවැටුමක් සටහන් විය. 

මේ අතර කොළඹ කොටස් හුවමාරුව සඳහා 2025 වාර්තාගත වසරක් වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහිදී 2025 වසර සඳහා ගනුදෙනු ආරම්භ කළ පළමු දිනය වූ ජනවාරි 02 වැනිදා ඉතිහාසයේ පළමුවරට සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 16,000 ඉක්මවීමට සමත් විය. ඒ අනුව වසර අවසානයට පෙර දිනය වූ ඊයේ (30) දිනයේදී එම අගය ඒකක 22,445.89ක් දක්වා ඉහළ යාම වසර තුළදී ඒකක 6,097 ක වාර්තාගත ඉහළ යාමකි. එසේම වසර ආරම්භයේදී ඒකක 4,971.87ක් වූ S&PSL20 දර්ශකයත් ඒකක 6,111.35ක් දක්වා ඒකක 1,139 කින් ඉහළ යාම සිදුව තිබේ.

මීට අමතරව කොළඹ කොටස් හුවමාරුවේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඊයේ (30) දිනයේදී රුපියල් ට්‍රිලියන 8.0 ක (රු. 7,998,226,900,728.00ක) සීමාවකට ළගා වී තිබූ අතර, එය වසරේ මේ දක්වා සියයට 40.43ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. 2025 වසරේ අවසන් ගනුදෙනු දිනය ලෙස අද (31) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පෙරවරු 9.30ට ආරම්භවිමට නියමිතය.



අදහස් (0)

2025 කොළඹ කොටස් හුවමාරුවට වාර්තාගත වසරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site