සියයට 5.6 ක වාර්ෂික වර්ධනයක්
2025 වර්ෂය සඳහා වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 13,579.38 ක්
දෙසැම්බර් මාසයේදී සේවා අපනයන ආදායම සියයට 2.47 කින් පහත වැටිලා
2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන ගිය අතර, එය සියයට 5.6ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ අපනයන සංඛ්‍යා ලේඛන මත පදනම්ව ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන එක්ව මුළු අපනයන ආදායම ඩොලර් මිලියන 17,252.15ක් විය.
2025 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ සහ සේවා යන අංශවල මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1490.49 කි.
එය 2024 වර්ෂයේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 3.95ක වර්ධනයකි.
මේ පිළිබද අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා මෙසේ ප්‍රකාශ කළේය.
“2025 දී ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,252.15 ක්. එය අපනයන ඉලක්කයෙන් සියයට 94.79 කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමක්. ප්‍රධාන වෙළෙඳපොළවල් යථා තත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරගකාරිත්වය අවධාරණය කරනවා.”
2025 දෙසැම්බර් මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව සියයට 5.88 කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1166.60 ක් දක්වා ළගා වී ඇත. එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වේ. 2025 වර්ෂය සඳහා වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 13,579.38ක් වූ අතර එය 2024 ට සාපේක්ෂව සියයට 6.32 ක වැඩිවීමක් පිළිබිඹු කරයි.
2025 දෙසැම්බර් මාසයේදී සේවා අපනයන ආදායම සියයට 2.47 කින් පහත වැටී ඇමරිකානු ඩොලර් මිලියන 323.89 ක් වූ බවට ඇස්තමේන්තු කර ඇත.
එහෙත් වාර්ෂික පදනමින් සේවා අපනයන 2025 දී සියයට 2.79 ක වර්ධනයක් වාර්තා කළ අතර එය ඇමරිකානු ඩොලර් මිලියන 3,672.77 කි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශවලින් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍රය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.
2025 අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 ඉක්මවයි