IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


2024 දී දළ දේශීය නිෂ්පාදිතයට සියයට 42.4ක වැඩිම දායකත්වය බස්නාහිර පළාතෙන්

 

  • 2023 වසරට සාපේක්ෂව දායකත්වයේ සියයට 1.6 ක අඩුවීමක්

  • වයඹින් සියයට 11.5ක් සහ මධ්‍යමින් සියයට 10.7ක් බැගින් වූ දායකත්වයක්


භානුක අමරසිංහ


පසුගිය වසරේදී දළ දේශීය නිෂ්පාදිතය වෙත වැඩිම දායකත්වය ලෙස සියයට 42.4 ක දායකත්වයක් ලබාදීමට බස්නාහිර පළාත සමත්ව තිබේ. මෙහිදී සේවා සහ කර්මාන්ත අංශය හරහා එම දායකත්වය කැපී පෙනෙන ලෙස ලබා දී තිබෙන බව මහ බැංකුව නිකුත් කළ පළාත් දළ දේශීය නිෂ්පාදිතය - 2024 වාර්තාව සඳහන් කරයි. කෙසේ වෙතත් 2023 වසරේ ලබාදුන් සියයට 44ක දායකත්වය හා සැසඳීමේදී මෙය සියයට 1.6 ක අඩුවීමකි. 

මේ අතර දෙවැනි ඉහළම දායකත්වය වයඹ පළාතෙන් ලබාදී ඇති අතර, එය සියයට 11.5 කි. මධ්‍යම පළාත මගින් සියයට 10.7ක දායකත්වයක්ද ලබාදී තිබේ. මීට අමතරව දකුණ, සබරගමුව, නැගෙනහිර, සබරගමුව, ඌව, උතුරු මැද සහ උතුරු යන පළාත්වලින් පිළිවෙළින් සියයට 8.9ක, 7.7ක, 5.0ක, 4.8ක, 4.6ක සහ 4.4ක දායකත්වයක් ලබාදී තිබේ. ඒ අතරින් මධ්‍යම, නැගෙනහිර, වයඹ, සබරගමුව සහ ඌව යන පළාත්වලින් දළ දේශීය නිෂ්පාදිතයට ලබාදුන් දායකත්වය 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ යාම සිදුව තිබේ.

කෘෂිකාර්මික අංශයෙන් ඉහළම දායකත්වය වයඹ පළාත ලබාදී ඇති අතර, එය සියයට 20 කි. එසේම මධ්‍යම සහ දකුණු පළාත් පිළිවෙළින් සියයට 13.9ක් සහ 11.8ක් ලබාදී තිබේ. කර්මාන්ත අංශය යටතේ බස්නාහිර පළාත සියයට 47.6ක දායකත්වයක් ලබාදී ඇති අතර, වයඹ සහ මධ්‍යම පළාත් සියයට 12ක සහ 9.6ක දායකත්වයක් ලබාදී තිබේ. සේවා අංශය යටතේ බස්නාහිර පළාත සියයට 44.5ක දායකත්වයක් ලබාදී ඇති අතර, මධ්‍යම සහ වයඹ පළාත් පිළිවෙළින් සියයට 10.7 ක සහ 10.1ක් බැගින් ඉහළ දායකත්වයක් ලබාදී තිබේ.



අදහස් (0)

2024 දී දළ දේශීය නිෂ්පාදිතයට සියයට 42.4ක වැඩිම දායකත්වය බස්නාහිර පළාතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site