IMG-LOGO

2025 ජුනි මස 15 වන ඉරිදා


2008න් පසුව වාර්තාවු මන්දගාමිව ආර්තික වර්ධන වේගය මෙම වසරේ

ලෝක බැංකු නවතම වාර්තාව හෙළිකරයි


එය ගෝලීය ආර්ථික අවපාතයක් ආසන්නයටම ලෝකය ගෙනයාමක්
ගෝලීය ආර්ථිකවල සියයට 70 ක පුරෝකථන පහළ දමයි
මෙම වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2.3 දක්වා පහළ යනු ඇතැයි පුරෝකථනයක්
ශ්‍රී ලංකාවේ මෙම වසරේ ආර්ථිකය මන්දගාමී වනු ඇති. සියයට 3.5 ක ආර්ථික වර්ධන වේගයක්
2026 සහ 2027 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 3.1 ක වර්ධන වේගයක්
දකුණු ආසියාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසරේදී සියයට 5.8 ක් වනු ඇතැයි පුරෝකථනයක්
සංවර්ධිත රටවල ආර්ථිකවල සියයට 60 ක වර්ධනය මෙම වසරේදී මන්දගාමී වේවි
අඩු ආදායම් රටවල ආර්ථිකවල සමස්තයක් ලෙස මෙම වසරේදී සියයට 5.3 ක ආර්ථික වර්ධනයක්


 විමුක්ති එස් රුද්‍රිගු


ඉහළ යන ගෝලීය වෙළෙඳ සහ ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතා හේතුවෙන් 2008 වසරින් පසුව වාර්තා වූ මන්දගාමීම ආර්ථික වර්ධන වේගය මෙම වසරේ වාර්තා කරනු ඇති බවත්, එය ගෝලීය ආර්ථික අවපාතයක් ආසන්නයටම ලෝකය ගෙන යනු ඇති බවත් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.
ගෝලීය ආර්ථික අපේක්ෂා පිළිබඳව නවතම වාර්තාව නිකුත් කරමින් ගෝලීය ආර්ථිකවල සියයට 70 ක පුරෝකථන පහළ දැමීමට ලෝක බැංකුව කටයුතු කර තිබේ. නවතම වාර්තාව මගින් මෙම වසරේදී ගෝලීය ආර්ථික වර්ධනය සියයට 2.3 දක්වා පහළ යනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. එය පෙර පුරෝකථනය සමග සංසන්දනය කරන විට සියයට 0.5 ක පමණ පහළ යාමකි.
ආර්ථික අවපාතයක් ඇති නොවුණත් ඉදිරි වසර දෙකේදී ලෝක ආර්ථිකය තවත් මන්දගාමී වුවහොත් එය 1960 දශකයෙන් පසුව දශකයක පළමු වසර 7 දී වාර්තා වූ මන්දගාමීම ගෝලීය ආර්ථික වර්ධන වේගය වනු ඇතැයි ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙයි.
පසුගිය වසරේ සියයට 5 ක ධනාත්මක ආර්ථික වර්ධනය ළඟා කරගත් ශ්‍රී ලංකාවේ මෙම වසරේ ආර්ථිකය මන්දගාමී වනු ඇති බවත්, මෙම වසරේ ශ්‍රී ලංකාව සියයට 3.5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇතැයි පුරෝකථනය කර තිබෙන බවත් ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවක සඳහන් වේ.
එසේම 2026 සහ 2027 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.1 ක වර්ධන වේගයක් වාර්තා කරනු ඇති බවද ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් තවමත් එල්ල වන බලපෑම, ආර්ථික වර්ධනයට තිබෙන ව්‍යුහාත්මක බාධා සහ ඉහළ ගොස් ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිතතා ඉන් පිළිබිඹු වන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී බලාපොරොත්තු නොවූ සියයට 6 ක දුර්වල ආර්ථික වර්ධන වේගයක් වාර්තා කිරීමෙන් පසුව ඉහළ යමින් පවතින ගෝලීය වෙළෙඳ බාධක, වර්ධනය වන ප්‍රතිපත්තිමය අවිනිශ්චිතතා සහ මූල්‍ය වෙළෙඳපොළ අස්ථාවරත්වය හේතුවෙන් දකුණු ආසියාවේ ක්‍රියාකාරකම් මන්දගාමීවෙමින් පවතින බව ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන් වේ.
ඉහළ යන වෙළෙඳ බාධක හේතුවෙන් අපනයනවලට බාධා එල්ල වීම, පළුදු වූ ව්‍යාපාර විශ්වසනීයත්වය සහ දකුණු ආසියාවේ ආයෝජන දුර්වල වීම හේතුවෙන් දකුණු ආසියාවේ ආර්ථික වර්ධන වේගය මෙම වසරේදී සියයට 5.8 ක් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. කෙසේ නමුත් 20026/27 වසරවලදී දකුණු ආසියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6.2 ක් දක්වා ඉහළ යනු ඇති බවත්, ඊට ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ආර්ථික ක්‍රියාකාරකම් හේතුවනු ඇති බවත් ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
2025/26 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6.3 ක් වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇති අතර, මීට පෙර ජනවාරි මාසයේදී ලෝක බැංකුව පුරෝකථනය කර තිබුණේ 2025/26 මූල්‍ය වර්ෂයේදී ඉන්දියාවේ ආර්ථික වර්ධන වේගය සියයට 6.7 ක් වනු ඇති බවය.
2026 සහ 2027 වසරවලදී ඉන්දියාවේ ආර්ථික වර්ධනය පිළිවෙළින් සියයට 6.5 ක් සහ 6.7 ක් වනු ඇතැයි ලෝක බැංකුව නවතම වාර්තාව මගින් පුරෝකථන කර ඇත.
සමස්තයක් ලෙස සංවර්ධිත රටවල ආර්ථිකයන්ගෙන් සියයට 60 ක ආර්ථික වර්ධනය මෙම වසරේදී මන්දගාමී වනු ඇතැයි එම වාර්තාවේ දැක්වේ. සංවර්ධිත රටවල ආර්ථික වර්ධන වේගය මෙම වසරේදී සියයට 3.8 ක් වනු ඇති බවත්, 2026 සහ 2027 වසරවලදී එය සියයට 3.9 දක්වා වර්ධනය වනු ඇති බවත් ලෝක බැංකුව පුරෝකථනය කර ඇත.
කෙසේ නමුත් අඩු ආදායම් රටවල ආර්ථිකවල සමස්තයක් ලෙස මෙම වසරේදී සියයට 5.3 ක ආර්ථික වර්ධනයක් වාර්තා කරනු ඇතැයි ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. එයද පෙර පුරෝකථනයට සාපේක්ෂව සියයට 0.4 ක පහළ යාමකි.
තීරුබදු ඉහළ නැංවීම සහ බලාපොරොත්තු නොවූ ආකාරයේ ශ්‍රම වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය ගෝලීය උද්ධමනය ඉහළ දැමීමට බලපෑමක් එල්ල කරන බවත්, මෙම වසරේදී ගෝලීය උද්ධමනය සියයට 2.9 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ලෝක බැංකුව නිකුත් කළ එම වාර්තාව පෙන්වා දෙයි.
සංවර්ධනය වෙමින් පවතින රටවල් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට, දියුණු ආර්ථිකයන් සමග තිබෙන සාමාන්‍ය ආදායම් පරතරය අවම කිරීම සහ දැඩි දුගීභාවය අවම කිරීමට මන්දගාමී ආර්ථික වර්ධනය බාධා එල්ල කරන බව ලෝක බැංකුව ප්‍රකාශ කළේය. සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාන්‍ය ඒක පුද්ගල ආදායම මෙම වසරේදී සියයට 2.9 කින් වර්ධනය වනු ඇතැයි ලෝක බැංකුව පුරෝකතනය කර ඇත.
අවසාන වශයෙන් ආර්ථික වර්ධනය වේගවත් කිරීමට රටවල් ව්‍යාපාරික පරිසරය දියුණු කළ යුතු බවත් රැකියා බලාපොරොත්තු වන්නන්ට අවශ්‍ය කුසලතා ලබාදෙමින් ශ්‍රම වෙළෙඳපොළ තුළදී සේවායෝජකයන් සහ සේවකයන් ගැලපීම සිදුකළ යුතු බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. දැඩි අවදානමට ලක්ව ඇති නැගී එන ආර්ථිකයන්ට සහාය වීම සඳහා ගෝලීය හවුල්කාරිත්වයක් අවශ්‍ය බවද ලෝක බැංකුව පෙන්වා දුන්නේය.



අදහස් (0)

2008න් පසුව වාර්තාවු මන්දගාමිව ආර්තික වර්ධන වේගය මෙම වසරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site