IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ෆිච් රේටින්ග්ස් 2026 අයවැය අගයයි

භානුක අමරසිංහ 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ 2026 වසර සඳහා වන අයවැය යෝජනා රජයේ මූල්‍ය ඒකාබද්ධතා ගමන් මාර්ගය වෙත ඉතාමත් හොඳින් සම්බන්ධ වූවක් බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් පවසයි. 

අයවැය 2026 සම්බන්ධයෙන් පසු සටහනක් තබමින් එම ආයතනය මෙම කරුණු සඳහන් කර සිටියි. විශේෂයෙන්ම රජය සිය 2025 ඉලක්ක සාර්ථක කරගැනීමෙන් අනතුරුව මෙවර අයවැය මගින් සිය දළ දේශීය නිෂ්පාදිතයේ පවතින රජයේ ණය ප්‍රතිශතය මැදිකාලීනව අඩු කිරීම සඳහා දක්වන දායකත්වය පිළිබිඹු කරන බවත් එම ආයතනය සඳහන් කරයි. 

“මෙහිදී ශක්තිමත් ආදායම් කාර්යසාධනයක් මගින් තවදුරටත් රජයේ මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.“ යනුවෙන්ද ෆිච් රේටින්ග්ස් පවසයි. 

මෙවර අයවැයට අනුව රජය 2026 වසරේදී සිය අයවැය හිඟය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5.1ක් බවට පත් කිරිමට බලක්ක කරගෙන සිටින බවත්, එය 2025 වසරේදී රජය අපේක්ෂා කළ සියයට 4.5කට වැඩි ප්‍රතිශතයක් බවත් එම ආයතනය පවසයි.

“පසුගිය වසරේ අයවැය මගින් 2025 වසර සඳහා ඉදිරිපත් වූ සැබෑ අයවැය හිඟය ඉලක්කය වුයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 6.7ක්. එහෙත් මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් එය සියයට 5.4ක් දක්වා අඩු අගයක් ලෙස පුරෝකථනය කළා.“ 

මෙහිදී එම අරමුදල මගින් ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ ලබාදී තිබෙන ප්‍රධානතම මූල්‍ය කාරණා සාර්ථක කරගැනීමට කටයුතු කිරීම හරහා වඩාත් සාර්ථක ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ හැකියාවක් බලධාරින්ට හිමිවනු ඇතැයිද ෆිච් රේටින්ග්ස් පවසයි. එසේම මේ හරහා තවදුරටත් සාර්ථආර්ථික ස්ථායිතාවද ඇති වනු ඇතැයි ඔවුන් සඳහන් කරයි. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව රජය පවත්වාගෙන යන ඉහළ ණය තත්වය ස්වෛරී ණය පැතිකඩ සඳහා ප්‍රධාන දුර්වලතාවක් බවත් ෆිච් රේටින්ග්ස් ආයතනය මෙහිදී සඳහන් කර සිටියි. 

“අපගේ ඔක්තෝබර් තක්සේරුවේදී, 2024 වසරේදී සියයට 100.5 ක් වූ දළ දේශීය නිෂ්පාදිතයෙන් රජයේ ණයෙහි දළ සාමාන්‍ය ප්‍රතිශතය, 2027 දී සියයට 96 ක් දක්වා පහත වැටෙනු ඇතැයි අපි පුරෝකථනය කළා. එය ‘CCC’ ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩයේ ස්වෛරී රාජ්‍ය සඳහා මධ්‍යන්‍ය සියයට 74ට වඩා බෙහෙවින් ඉහළ අගයක්.“ ඔවුන් පවසයි. 

එසේම 2027 දී සිදු වීමට නියමිතව ඇති IMF වැඩසටහනේ අවසානයත් සමගින්ම 2028 සිට ශ්‍රී ලංකාව සතු ණය ආපසු ගෙවීමේ බැඳීම් ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කරන බවත් ෆිච් රේටින්ග්ස් සඳහන් කරයි. එය ශ්‍රී ලංකාවේ මධ්‍ය කාලීන ණය අපේක්ෂාව මුහුණ දෙන අවදානම් තත්තවය වැඩි කරවන්නක් විය හැකි බවත් ඔවුන් අවසන් වශයෙන් පෙන්වා දෙයි.



අදහස් (0)

ෆිච් රේටින්ග්ස් 2026 අයවැය අගයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site