IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


හේලීස් සමූහයෙන් මහා පරිමාණ සුපිරි වෙළෙඳසල් ජාලයක්

  • දැනට පවතින සුපිරි වෙළෙඳසල් ජාලයක් හා එක් වනු ඇති බවට අදහසක්? 

භානුක අමරසිංහ 

හේලීස් සමූහයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මොහාන් පණ්ඩිතගේ හේලීස් සමූහයේ සම සභාපති ධම්මික පෙරේරා

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන හේලීස් සමූහය ඉදිරියේදී රට තුළ සුපිරි වෙළෙඳසල් ජාලයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදන බව පසුගියදා නිවේදනය කළේය. 

හේලීස් සමූහය මෙරට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාගේ වැඩි කොටස් හිමිකාරීත්වයක් සහිත සමාගම් සමූහයකි. වර්තමානයේදී ඔහු එහි සම සභාපතිවරයා ලෙස කටයුතු කරයි. 

සමාගමට අනුව පළමු අදියර යටතේ අලෙවි සැල් 100ක් විවෘත කිරීමට සමාගම සූදානමින් සිටියි. එහිදී මෙම අලෙවිසල් ප්‍රධාන නාගරික හා උප නාගරික ප්‍රදේශ පුරා උපාය මාර්ගිකව ස්ථානගත කිරීමට සැලසුම් කර ඇතැයිද සමාගම පවසයි. 

කෙසේ වෙතත් එම අලෙවිසල්හි සන්නාමය පිළිබඳව මෙහිදී අනාවරණය කර නොතිබුණි. එසේම මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන දින වකවානු පිළිබඳවද සඳහන් කර නැත. 

මේ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව සඳහන් කරන ආකාරයට හේලීස් සමූහය දැනට මෙරට තුළ ක්‍රියාත්මක සුපිරි වෙළෙඳසල් ජාලයක් අත්පත් කරගනිමින් මෙම ව්‍යාපාරය වෙත පිවිසෙනු ඇතැයි අදහස වී තිබේ. 

මේ අතර හේලීස් සමූහය හිමි ධම්මික පෙරේරා මහතා සිය වැලිබල් සමූහය හරහා ගත් තීරණයකට අනුව එහි ආයෝජන හස්තය වන වැලිබල් ත්‍රී සමාගම මගින් මෙරට ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන ඩබ්ලිව්.එච්.කේ වෑගපිටිය මහතාට අයත් ලාෆ්ස් හෝල්ඩිංග්ස්හි සියයට 50ක කොටස් ප්‍රමාණයක් සඳහා මුදල් ආයෝජනයක් සිදු කළේය. 

මෙම ආයෝජනය මගින් ලාෆ්ස් සමූහයේ කාර්යසාධනය තවදුරටත් වර්ධනය කරමින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගැනීම අරමුණ බව දෙපාර්ශ්වයේම අදහස විය. 

දැනටමත් ලාෆ්ස් හෝල්ඩිග්ස් යටතේ ලාෆ්ස් සුපර් සහ ලාෆ්ස් සුපර්මාර්ට් නමින් සුපිරි වෙළෙඳසල් ජාලයක් ක්‍රියාත්මක වෙයි. එහි වෙබ් අඩවියට අනුව මේ වනවිට සුපිරි වෙළෙඳසල් 40ක් මෙහෙයුම් පවත්වාගෙන යයි. 

ඒ අනුව හේලීස් සමූහය විසින් ආරම්භ කිරීමට සූදානම් වන සුපිරි වෙළෙඳසල් ජාලය බොහෝ දුරට ලාෆ්ස් සුපිරි වෙළෙඳසල් ජාලය හා සම්බන්ධවූවක් විය හැකි බව එම පාර්ශ්වල අදහස වී තිබේ. 

එහෙත් මෙම ආයෝජන හේලීස් සමූහය හරහා නොව ධම්මික පෙරේරා මහතාට අයත් අනෙක් සමාගම් හරහා සිදුව තිබීම මෙහි ඇති ගැටලු‍වයි. පාරිභෝගික භාණ්ඩ අතින් හේලීස් සමූහය හා ඍජුවම සම්බන්ධව පවතින්නේ පසුගියදා එම සමාගම අත්පත් කරගත් හරිස්චන්ද්‍ර මිල්ස් පීඑල්සී සමාගම සහ සිංගර් (ශ්‍රී ලංකා) පීඑල්සී සමාගමයි. 

මේ අතර සිය තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන හේලීස් සමූහය, මෙම නව පියවර මගින් හේලීස් සමූහයේ උපාය මාර්ගික අරමුණක් වන ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ සේවා විශිෂ්ටත්වය, සාමාන්‍ය ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට ගෙන ඒම අවධාරණය කරන බව පවසයි. එසේම මෙය නවීන සිල්ලර අත්දැකීම නැවත අර්ථ දැක්වීමක්ලෙසද ඔවුන් හඳුන්වා දෙයි.



අදහස් (0)

හේලීස් සමූහයෙන් මහා පරිමාණ සුපිරි වෙළෙඳසල් ජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site