IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


හේලීස් සමූහයට රුපියල් බිලියන 13.33ක බදු පෙර ලාබයක්

  • ආදායම රුපියල් බිලියන 269.53ක් දක්වා සියයට 14ක වර්ධනයක්
  • මුල් මාස හයේ දී EBITDA සහ EBIT සියයට 4කින් සහ සියයට 2 කින් ඉහළ ගිහින්
හේලීස් සමූහය 2026 මාර්තු 31 දිනෙන් අවසන් වන 2025/26 මූල්‍ය වර්ෂයේ පළමු මාස හයක කාලය සඳහා රු. බිලියන 13.33ක බදු පෙර ලාබයක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි පවසයි. එය පෙර වසරේ එම කාලසීමාවට සාපේක්ෂව සියයට 5 ක වාර්ෂික වර්ධනයකි. 
විශේෂයෙන්ම දේශීය ව්‍යාපාරවල කැපීපෙනෙන වර්ධනය හේතුවෙන් ලැබුණු සහායත් සමගින් දෙවැනි කාර්තුව තුළ ඒකාබද්ධ ආදායම රු. බිලියන 138.89 ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 13 කින් වර්ධනය වී තිබේ.
මේ අතර, වසරේ මුල් මාස හය තුළ සමූහයේ ආදායම සියයට 14 කින් වර්ධනය වී රුපියල් බිලියන 269.53 ක් බවට පත්ව ඇති අතර, ඊට පාරිභෝගික සහ සිල්ලර අංශය ප්‍රධාන වශයෙන් දායක වී තිබේ. “අත් ආරක්ෂණ සහ පිරිසුදු කිරීමේ අංශද වර්ධන ගම්‍යතාව පවත්වා ගෙන ගිය අතර, අපනයන-නැඹුරු අංශවලට වසරේ මුල් මාස හය තුළ සියයට 6 ක ආදායම් වර්ධනයක් අත්කර ගැනීමට හැකි විය.” සමූහය පවසයි.
සමූහයේ සමුච්චිත ඒකාබද්ධ ඉපැයීම් පොලී ගෙවීමට පෙර, බදු, ක්ෂයවීම් සහ ක්‍රමක්ෂය (EBITDA) සහ පොලී ගෙවීමට පෙර සහ බදුවලට පෙර ඉපැයීම් (EBIT) මූල්‍ය වර්ෂයේ මුල් මාස හය තුළ පිළිවෙළින් රුපියල් බිලියන 26.25 සහ රුපියල් බිලියන 19.55 දක්වා, සියයට 4කින් සහ සියයට 2 කින් ඉහළ ගොස් තිබේ. 
සමූහයේ කාර්ය සාධනය පිළිබඳව අදහස් දක්වමින් සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මොහාන් පණ්ඩිතගේ මහතා, “අපගේ ව්‍යාපාර කළඹ තවදුරටත් දියුණු කිරීම, නව වෙළෙඳපොළ වෙත ව්‍යාප්ත කිරීම, පාරිභෝගික කේන්ද්‍රීය නවෝත්පාදන මෙහෙයවීම, දක්ෂතා පෝෂණය කිරීම සහ අපගේ මෙහෙයුම් පුරා තිරසාරභාවය ඇතුළත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.” යනුවෙන් පවසා සිටියි.
ඒ අනුව මෙහෙයුම් ක්ෂේත්‍රයේ නැගී එන අවස්ථා සහ පුළුල් වන හැකියාව ප්‍රයෝජනයට ගැනීම සඳහා හේලීස් අඛණ්ඩව කටයුතු කරමින් සිටින බව එම සමුහය පවසයි. 
විශේෂයෙන්ම මෙම කාලය තුළ සංචලතා අංශයට, සුපිරි වෙළෙඳසැල් අංශයට පිවිසීමට තීරණය කෙරී ඇති අතර, එහි ගැඹුරු පාරිභෝගික විශ්වාසය සහ දිගුකාලීන වෙළෙඳපොළ පැවැත්ම සඳහා ජනතාව අතර ජනප්‍රිය වේගයෙන් අලෙවි වන පාරිභෝගික භාණ්ඩ සන්නාමයක් වන හරිස්චන්ද්‍ර මිල්ස් PLC හි සැලකිය යුතු කොටස් අත්පත් කර ගැනීමත් සමග එහි උපායමාර්ගික පියසටහන පුළුල් කර තිබෙන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

හේලීස් සමූහයට රුපියල් බිලියන 13.33ක බදු පෙර ලාබයක්

Nandana Monday, 17 November 2025 07:14 PM

මොවුන්ට ආණ්ඩු බයයි. කෝ හරියට බදුමුදල් ගන්නවාද? නිකන් බොරු පච විතරයි මල්ලි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site