කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
කොරෝනා ව්‍යසනයත් සමග අපේ රටේ බොහෝ ව්‍යාපාර වැටුණේය. ඇතැම් ව්‍යාපාර බිමටම සමතලවූවේ යළි ගොඩගැනීමට නොහැකි ආකාරයටමය. කොරෝනාවලින් පසුව ද සිය ව්‍යාපාර පෙරපරිදිම නංවාගත් අයද සිටිති. එමෙන්ම තමා කරන ව්‍යාපාරයට ආයුබෝවන් කියා අලුත් ව්‍යාපාර, අලුත් කර්මාන්ත ආරම්භ කර ජීවිතය ජයගත් අයද මේ අතරය. මේ කතාව එයින් එක් කතක් පිළිබඳවය.
ගාල්ල, අක්මීමන, තලගහ හන්දිය ප්‍රදේශයේ ජීවත්වන ආර්.ඒ.අයි. කුමාරී ඒ කතය. ඇය කොරෝනා ව්‍යසනයට කලියෙන් ස්වයං රැකියාවක් ලෙස ඇඳුම් මැසුවාය. කරාතේ ක්‍රීඩා ඇඳුම් මේ අතරය. ඊට අමතරව චෙස් ක්‍රීඩා ගාඩ් ද මැසුවාය. දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා නිලධාරියකු වන ලක්ෂිත විජයරත්නගෙන්ද ඊට ලැබුණේ කිවනොහැකි සහයෝගයකි.
කුමාරිගේ රෙදි මැසීමේ ස්වයං රැකියාවත් සිය සැමියාගේ රැකියාවත් නිසා ඔවුහු හොඳින් සිය ජීවිකාව ගෙන ගියහ. කුමාරිලා පමණක් නොව මුළු ලෝකයම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණු ව්‍යසනයක් ලෝකයටම කඩා පාත්වූවේය. ඒ කොරෝනා ව්‍යසනයය.
කොරෝනා ව්‍යසනයත් සමගම කුමාරිගේ රෙදි මැසීමේ ව්‍යාපාරය බිමටම සමතලා විය. ඒ සමගම ඇයට තමා ඉදිරියට කළ යුත්තේ කුමක්දැයි නොදත්තාය. ඒත් කුමාරීගේ සිත කිව්වේම යළිත් දෙපයින් නැගිටීමට තමන්ට ධෛර්යය හා ශක්තිය ඇතිය යන්නය. එය සිත්හි තබාගත් ඇය තමා දන්නා හඳුනන හෙල්මට් අලුත්වැඩියා කරන ඥාතියකු ළඟට ගියේ නිකමට මෙන්් ය. ඒ නිවසේ නිකරුණේ කාලය ගත කරනවාට වඩා අතට අලුත් දෙයක් හුරුවීම ඉතා හොඳ යයි කුමාරී සිතුවාය. එසේ ඇය තුන් මාසයක් පමණ මේ ඥාතියාගෙන් හෙල්මට් අලුත්වැඩියා පුහුණුව සඳහා ගියාය. ඒ සමගම කුමාරිට හෙල්මට් අලුත්වැඩියා කිරීම පිළිබඳව හොඳ දැනුමක් හා හුරුවක් ලැබුණි.
ඒ අනුව ඇය සිය නිවසේ සිට හෙල්මට් අලුත්වැඩියා කිරීම ආරම්භ කළාය. ඒ සුළුවටය. තමා වෙතට අලුත්වැඩියාවට රැගෙන එන හෙල්මටයක් පෙර තිබුණාටත් වඩා හොඳින් අලුත්වැඩියා කරදීමට කුමාරිට තිබුණේ පුදුම හැකියාවකි. මේ නිසාම දිනෙන් දිනම කුමාරිගේ හෙල්මට් අලුත්වැඩියාව ප්‍රචලිත විය. මෙයින් දිරිමත්වූ ඇය ගාල්ල ලබුදූව හන්දියට යාමට අදහස් කළේ හෙල්මට් අලුත්වැඩියාවටය. ඒ සඳහා ඇය තුන්් රෝද රියක සහාය පැතුවය. සිය සැමියා වන ලක්ෂිත විජයරත්න සමග මේ සම්බන්ධයෙන් කතා කර ගෙවීමේ පදනම මත ත්‍රිරෝද රියක් මිලට ගත්තාය.
සිය නිවසේ රාජකාරී උදේ රැයින්ම අහවර කරන කුමාරී ත්‍රිරෝද රථයෙන් ජනාකීර්ණ ගාල්ල ලබුදුව මං සන්ධියට යනුයේ ත්‍රිරෝද රථයේ සිට හෙල්මට් අලුත්වැඩියා කිරීමටය. ත්‍රිරෝද රථයේ සිට ඇයගේ මේ හෙල්මට් අලුත්වැඩියා කිරීමේ කටයුත්ත ශීඝ්‍රයෙන් දියුණුවිය. ඒ සඳහා මේ ත්‍රිරෝද රථය ප්‍රමාණවත් නොවීය. එහි ප්‍රතිඵලයක් ලෙස මාසික වාරික ගෙවීමේ ක්‍රමයට කුමාරිලා බස් රථයක් මිලදී ගත් හ.
මේ ඒ සම්බන්ධයෙන් ආර්.ඒ.අයි. කුමාරී කියන කතාවය.
මම හෙල්මට් අලුත් වැඩියාව ආරම්භ කළේ 2020 වසරේ දෙසැම්බර් මස 18 වැනිදායි. මේ වනවිට් කොරෝනා වසංගත තත්වයකට පත්වී ලෝකය පුරා පැතිරී යන අවස්ථාවයි. මුලින් අපි ගත්තේ පියාජියෝ වර්ගයේ ත්‍රිවිල් එකෙන් මාස කීපයක් ගෙවෙද්දී මගේ හෙල්මට් අලුත් වැඩියාවට ඉහළ ඉල්ලුමක් තිබුණා.
මාස කිහිපයක් යද්දි මේ ඉහළ ඉල්ලුම සපිරීමට ලීසින් දාලා පොඩි බස් රථයක් ගත්තා. ඒක කඩයක් විදියට පිටිපස්සේ දොර නිර්මාණය කරලා ස්ටිකර් කළා. මම ඊට පස්සේ ලබුදූව හංදියට මේ බස් රථය ගෙනැල්ලා එහි ඉදගෙන හෙල්මට් අලුත්වැඩියාව කළා. මේ බස් රථයේ ඉදං හෙල්මට් අලුත්වැඩියා කිරීම නිසා මම ගාල්ලේ විතරක් නොවෙයි ලංකාව පුරාම ජනප්‍රිය වුණා. මට බොහෝ අය කීවේ හෙල්මට් අක්කා කියලා. මේ නිසා බොහෝ අය හෙල්මට් අලුත්වැඩියාව කර ගන්න වැඩියෙන් ආවා ගියා. ඒ එන හැමකෙනකුටම මම උපරිමයෙන් ඒ වැඩේ කරලා දුන්නා. මේ ආකාරයට මම වසර හයක් තිස්සේ ජංගම සේවයක් වගේ බස් රථයේ ඉඳගෙන හෙල්මට් හැදුවා. මෙයින් ඔබ්බට යායුතු යයි අපි කල්පනා කළා.
හැමදාම හෙල්මට් අලුත්වැඩියා කරලා විතරක් මේ ජීවිතයෙන් දෙයක් ලබන්න බැරි බව තේරුණා. ඒ නිසාම අපි හෙල්මට් අලුත්වැඩියාවෙන් ඉදිරියට ගිහිල්ලා අලුත් හෙල්මට් අලෙවි කිරීමේ ආයතනයක් ගාල්ල ලබුදූව මංසන්ධියේ ආරම්භ කළා.ඒ ඉස්සරහම හෙල්මට් අලුත්වැඩියා කරන බස්් රථයත් නතර කරලා තියෙනවා. මොකද තවම හෙල්මට් අලුත්වැඩියා කරවා ගැනීම සඳහා පිරිස එන්නේ මේ බස් එක හොයාගෙන නිසා. එහෙත් දැන් මම හෙල්මට් අලුත්වැඩියා කරන්නේ මගේ හෙල්මට් අලෙවි සලේයි. ඒවගේම අපි අලුතින් ක්‍රීඩා භාණ්ඩ අලෙවි සලක්ද පටන් ගත්තා.
මම හෙල්මට් අලුත්වැඩියා කරනවා, අලුත් හෙල්මට් අලෙවි කරනවා වගේම ක්‍රීඩා භාණ්ඩත් අලෙවි කරනවා. මේ සියල්ලම කරන්නේ ගෙදරදොරේ සියලුම රාජකාරී ඉවර වෙලා ගෘහණියකගේ මවකගේ සහ භාර්යාවකගේද වගකීම් සියල්ලම මනාව කළමනාකරණය කරගෙන. ඒ දිහා බලද්දී මට අහකදාන්න වෙලාවක් නැහැ. හැමවෙලාවේම මට කරන්න වැඩක් තියෙනවා.
මේ අපේ රටට කුමාරිලා වගේ කාන්තාවන් අත්‍යාවශ්‍ය යුගයකි. සැමියා දෙන දෙයක් කා වෙන දෙයක් බලාගෙන ඉන්නා කාන්තාවන් අප රටේ කොතෙක් සිටීදැයි අපි නොදනිමු. එහෙත් රටක් රාජ්‍යයක් දියුණු කිරීමට නම් මෙවැනි කුමාරිලා පහළවීම ඉතාමත්ම වැදගත් ය.
හෙල්මට් අලුත්වැඩියාවෙන් දිවිය ජයගත් ගාල්ලේ හෙල්මට් කුමාරි