දැනටමත් රාජ්‍ය ව්‍යවසාය 5ක් CSE හි ලැයිස්තුගතවීමේ සූදානමක
භානුක අමරසිංහ
හැකියාවක් සහ වටිනාකමක් සහිත රාජ්‍ය ව්‍යවසාය කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගතවීම වඩාත් සුදුසු බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා පවසයි. පසුගියදා කොළඹ කොටස් හුවමාරුවේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
“අපි ආරාධනා කරනවා හැකියාව සහ වටිනාකමක් සහිත රාජ්‍ය ව්‍යවසායන් වෙත කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වෙන්න කියලා. මේ ව්‍යවසාය මිලියන ගණන්වලින් හොයනවා නම් බිලියන ගණන්වලින් හොයන්න පුළුවන්. බිලියන ගණන් හොයනවා නම් ට්‍රිලියන ගණන්වලින් හොයන්න පුළුවන්. හොයලා මේ රටේ ජනතාවට ධනය අත්පත් කරගන්න ඉඩ හරින්න. මේ ව්‍යවසායන් වෙත තමන් ලබා දෙන සේවාව එක වැඩි කරන්න ඕනේ නම් ප්‍රාග්ධනය සම්පාදනය කරගන්න වෙනවා. මොකද ආණ්ඩුවේ අයවැයට බෑ මේ සියලුම අරමුදල් සපයන්න.
ඉතින් මිනිස්සු දෙන්න කැමැතියි නම්, දේශීය විදේශීය ආයෝජකයෝ එනවා නම් ඒ ගෝල්ලට ඉඩ දෙන්න ඒක කරන්න.“
මෙහිදී සභාපතිවරයා උදාහරන ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීමේ අවස්ථාව පෙන්වා දුන් අතර, ලැයිස්තුගතවීම යනු කිසි ලෙසකින්වත් රාජ්‍ය ව්‍යවසායක් පෞද්ගලිකරණය කිරිමක් නොවන බවද අවධාරණය කළේය. විශේෂයෙන්ම මෙම ලැයිස්තුගතවීම හරහා එම සමාගමේ විනිවිදභාවය, වගවීම, විගණනය යනාදී කරුණු සිදු වුණු බවත්, එය එම සමාගමේ දියුණුවට හේතු වුණු බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර දැනටමත් රාජ්‍ය ව්‍යවසාය පහක් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීමට සූදානමින් සිටින බව සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයා පසුගියදා සඳහන් කර තිබුණි. ඒ අනුව මේ වනවිට එම ව්‍යවසාය ඊට අදාළ කටයුතු සිදු කරමින් පවතින බවත් ඔහු සඳහන් කළේය. කොළඹ කොටස් හුවමාරුව තුළත් මෙම රාජ්‍ය ව්‍යවසාය ලැයිස්තුගත කිරීම සඳහා වන පුවරුවක්ද දැනටමත් ස්ථාපිත කර තිබේ.
හැකියාව ඇති රාජ්‍ය ව්‍යවසාය කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වෙන්න