
දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විපතට පත් පුද්ගලයන්ට සහ ව්‍යාපාරිකයන්ට සහන සැලසීම මෙන්ම හානියට සහ විනාශ වූ සමාජ-ආර්ථික යටිතල පහසුකම් ගොඩනැංවීම මෙන්ම බිඳවැටුණු නිෂ්පාදන කටයුතු සක්‍රීය කිරීමට අවශ්‍ය වන අරමුදල් කොටසක් වෙනුවෙන් රජය මේ වන විට පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට කටයුතු කර ඇත. 2025 වර්ෂය සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරමින් රුපියල් බිලියන 50ක මුදලක් ආපදාවෙන් විපතට පත් ජනතාවට සහ ගොවීන්ට සහන සැපයීම සඳහා අනුමැතිය ලබාගන්නා ලදී. එහිදී ගොවීන් සඳහා රුපියල් 25,000 සිට රුපියල් ලක්ෂ 2 දක්වා වූ මුදලක් නැවත ගොවිතැන් කිරීමට ලබාදීමට යෝජනා විය. 2026 මූල්‍ය වර්ෂයට අදාළව ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව මගින් රුපියල් බිලියන 250ක මුදලක් විනාශයට සහ හානියට පත් යටිතල පහසුකම් ගොඩනැංවීමට වෙන්කළ අතර තවත් රුපියල් බිලියන 150ක මුදලක් ජීවනෝපාය සහ සහ බිඳවැටුණු ජනජීවිතය ගොඩනැංවීමට භාවිත කිරීමට නියමිතය.
ආපදාව නිසා බලපෑමට ලක්වූ නිවාස පිරිසුදු කිරීම සඳහා නිවෙසකට රුපියල් 25,000ක මුදලක් ලබාදීමට නියමිත අතර මුළුතැන්ගෙයි උපකරණ මිලදී ගැනීමට රුපියල් 50,000ක මුදලක් ලබාදීමට තීරණය කර ඇත. ආපදාව නිසා බිඳවැටී ඇති ජීවනෝපාය යථාවත් වනතෙක් මසකට රුපියල් 50,000ක මුදලක් (පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව දෙදෙනකුට වැඩිනම්), මාස තුනක් දක්වා ලබාදීමට යෝජිතය. එමෙන්ම, ආපදාව නිසා බලපෑමට ලක්වූ පාසල් සිසුන් සඳහා එක් අයකුට රුපියල්15,000ක මුදලක් ලබාදීමට ද යෝජනා විය. එසේම, පූර්ණ වශයෙන් හානියට පත්වූ නිවෙසක නිවැසියන් සඳහා කුලී පදනම මත ජීවත්වීමට මසකට රුපියල් 25,000ක මුදලක් මාස 6ක් දක්වා ගෙවීමට ද අපේක්ෂා කෙරේ. පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති නිවෙසක් වෙනුවෙන් නිවෙසක් තැනීමට අවශ්‍ය වන්නේ නම් රුපියල් මිලියන 5ක් දක්වා දීමනාවක් ද යම් හෙයකින් අලුතින් ඉඩමක් ලබාගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා රුපියල් මිලියන 5ක් දක්වා වූ වන්දියක් ද ලබාදීමට නියමිතය.
එසේම නව නිවාස ඉදිකිරීම සඳහා රජය සතු ඉඩම් ලබාදීමට ද යෝජනා වී ඇත. ඒ අනුව යමින් රජය විසින් විනාශ වූ නිවාස ගොඩනැංවීම සඳහා රුපියල් බිලියන 100ක් වෙන්කරන ලදී. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා අඩු පොලී අනුපාත යටතේ ණය ලබාදීමට ද යෝජනා වී ඇත. ලෝක බැංකු ඇස්තමේන්තු අනුව දිට්වා සුළිකුණාටුව නිසා ඇතිවූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් ඇතිවූ හානිය මේ වන විට ඇමෙරිකානු ඩොලර් 4.1ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. එහි ඇතුළත්ව ඇත්තේ සෘජු පිරිවැය පමණක් වන අතර වක්‍ර පිරිවැය ද සලකනු ලබන්නේ නම් දිට්වා සුළිකුණාටුව මගින් ආර්ථිකයට කර ඇති හානිය සැලකිය යුතු අගයක් ගන්නා බව පැහැදිලිය.
රාජ්‍ය මූල්‍යයට කරනු ලබන බලපෑම
ආපදාව හේතුවෙන් ඉහතින් ලබාදෙන ලද සහන පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පෙනීයන කරුණක් වන්නේ සාපේක්ෂව ඉතා තාග්‍යශීලී ස්වරූපයකින් යුතුව එම සහන ලබා දී ඇති ආකාරයකි. එවැනි පසුබිමක් මත ඇතිවිය හැකි අහිතකර තත්ව ගණනාවක් පවතී. පළමුව, ඉතා ඉහළ මට්ටමකින් සහන ලබාදීම හේතුවෙන් සහන අත්‍යවශ්‍ය නොවන පිරිස් ද ඉහත සහන ලබාගැනීමට ඇති ඉඩකඩ වැඩි අතර සත්‍ය නොවන කරුණු ඉදිරිපත් කිරීමෙන් ද සහන සඳහා සුදුසුකම් ලැබීමට උත්සාහ කළ හැකිය. එසේම, ඉතා පහළ පොලී යටතේ ණය සැපයීමෙන් ද ඇතිවිය හැකි තත්වයක් වන්නේ ණය අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාරිකයන් ද ණය ලබාගැනීමට මෙන්ම ලබාගනු ලබන ණය ප්‍රමාණය ඉහළ යෑමට ද වැඩි ඉඩකඩක් පවතී. එසේම, සහන සඳහා ඉහළ මුදලක් වැය කිරීමෙන් ඇතිවිය හැකි අනෙක් අහිතකර බලපෑම වන්නේ සමාජ-ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වැය වන මුදල් සීමාවීම වේ.
දැනට සහන සඳහා වැය කරනු ලබන්නේ 2024 වර්ෂයේ සිට රාජ්‍ය මූල්‍යයට අදාළව පවත්වාගෙන යනු ලබන මුදල් වේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ කරනු ලැබූ බදු සංශෝධන හේතුවෙන් රජයේ බදු ආදායම සැලකිය යුතු ලෙස ඉහළ නංවාගැනීමට හැකියාව ලැබුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස රජයට යම් ඉතිරියක් (Fiscal Buffer) පවත්වාගෙන යාමට හැකි විය. ඒ අනුව බලන කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන හේතුවෙන් පළමුව ආර්ථික අර්බුදයෙන් යම් සාර්ව ආර්ථික ස්ථායීතාවක් අත්කර ගැනීමට පමණක් නොව දිට්වා සුළිකුණාටුව හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහ ව්‍යාපාරවලට සහන සැලසීමට මෙන්ම සමාජ-ආර්ථික යටිතල පහසුකම් යළි ගොඩනැංවීමට ද උපකාර වී ඇති හැඩක් පෙනේ. 2026 වර්ෂය සඳහා අමතර රුපියල් බිලියන 500ක මුදලක් ආපදා සහන සහ යළි ගොඩනැංවීම සඳහා වියදම් කිරීමට තීරණය කිරීම අයවැය හිඟය හෝ රාජ්‍ය ණය ලබාගැනීම් ඉහළ යාමකට හේතු නොවන මුත් එම තීරණයත් සමග රජයේ ප්‍රාථමික වියදම (Primary Expenditure) සියයට 13 (දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස) යන කඩඉම පසු කරනු ලබයි. ඉහත වියදම් සැලකූවිට රජයේ ප්‍රාථමික වියදම 2026 වර්ෂයේ දී සියයට 14.5 පමණ වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව රජය විසින් 2025 වසර සිට ඉදිරි වසර පහක කාලයක් සඳහා රජයේ ප්‍රාථමික වියදම සියයට 13 මට්ටමේ පවත්වාගත යුතු නමුත් ස්වාභාවික ආපදා තත්වයක දී ඊට එම සීමාව ඉක්මවා යාමට පනත තුළ විධිවිධාන සපයා ඇත. ප්‍රාථමික වියදමට අදාළව යම් සීමාවක් පනවා ඇත්තේ අමතර ණය ගැනීම් වළක්වා ගැනීම සඳහාය. මෙවැනි විධිවිධාන රාජ්‍ය මූල්‍ය විනය ඇති කිරීමට ඉතාමත් වැදගත් වන්නකි. නිදහසින් පසු පළමු වරට රාජ්‍ය මූල්‍ය විනය ඇතිකරනු වස් 2003 වර්ෂයේ දී රාජ්‍ය මූල්‍ය වගකීම් පනත හඳුන්වා දෙන ලදී. එම පනත මගින් ක්‍රමානුකූලව රාජ්‍ය ණය බර පහතට හෙළීමට රාජ්‍ය අයවැය හිඟයට අදාළව සීමා පනවන ලදී. එහෙත් 2004 වර්ෂයේ දී රජය මුහුණ දුන් සුනාමි ව්‍යසනය හේතුවෙන් එම සීමා ඉක්මවා යාමට සිදුවිය. එතැන් පටන් විවිධ හේතු ඉදිරිපත් කරමින් එවකට පැවති ආණ්ඩු විසින් දිගින් දිගටම අයවැය හිඟය අදාළ පනත මගින් පනවා ඇති සීමා ඉක්මවා පවත්වාගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය ණය බර අඛණ්ඩව ඉහළ ගියේය. 2026 වර්ෂයට අදාළව ප්‍රාථමික වියදම රාජ්‍ය මූල්‍ය පනතේ සීමා ඉක්මවා ගියත් ඉන් ඔබ්බට පනත තුළ අනුමතව ඇති සීමාව තුළ පවත්වා ගැනීමට කටයුතු කළ යුතුව ඇත.
අමතර විදේශ ණය ලබාගැනීමේ අවශ්‍යතාව
අමතර ණය ලබාගැනීම්වලින් තොරව ආපදා සහන සහ යළි ගොඩනැංවීමට අවශ්‍ය වියදම් දැරිය හැකියැයි ප්‍රකාශ කළද, රජයේ වියදම් ඉහළ යාම නිසා ගෙවුම් ශේෂය මත ඇතිවන තෙරපුම පාලනයට දැනට යෝජිත ණය ලබාගැනීම්වලින් වැඩි කොටසක් විදේශ ණය ලෙස ලබාගැනීමට සිදුවේ. රාජ්‍ය වියදම්වලින් සැලකිය යුතු කොටසක් විදේශ භාණ්ඩ සහ සේවා මත වියදම් කරනු ලබන අතර ඒ හේතුවෙන් අමතර ඩොලර් සඳහා ඉල්ලුමක් ඇති වේ. එම ඉල්ලුමට අදාළව ඩොලර් රට තුළට ගලා ඒම සිදුනොවුණහොත් විදේශ විනිමය අනුපාතය පිරිහීමට ලක්විය හැකිය. එවැනි තත්වයක් අනෙකුත් සාර්ව ආර්ථික විචල්‍යයන්ට ද අහිතකර වේ. එබැවින් රජය එක්කෝ විදේශ විනිමය ඉපයීම් ඉහළ නැංවිය යුතු අතර එසේ නොවන්නේ නම් විදේශ ණය සහ ආධාර ලබාගැනීමට කටයුතු කළ යුතුව ඇත.
ඒ අනුව යමින්, රජය දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමතර ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් ලබාගැනීමට අපේක්ෂා කරන බව ප්‍රකාශ කර ඇත. මෙහිදී අමතර විදේශ ණය ලබාගැනීම් හැකිතාක් සීමා කිරීම වැදගත් වේ. ඒ මන්දයත් එවැනි ණය කෙටිකාලීනව විදේශ ණය බර තවදුරටත් ඉහළ යා හැකි නිසාවෙනි. විශේෂයෙන්ම දැනට පවතින ණය ශ්‍රේණිගත කිරීම අනුව අඩු පොලී යටතේ ණය ලබාගැනීමේ හැකියාවක් නොමැති අතර ඉහළ පොලී අනුපාත යටතේ ණය ලබාගැනීමට කටයුතු කිරීම එතරම් යෝග්‍ය නොවනු ඇත. එවන් පසුබිමක් තුළ විදේශගතව ජීවත් වන ලාංකීය ප්‍රජාවගේ සහයෝගය ලබාගැනීම මෙන්ම අඩු පොලී යටතේ දේශගුණික විපර්යාස වෙනුවෙන් ලබාදෙන ණය පහසුකම් ලබාගැනීම පිළිබඳව රජයේ අවධානය යොමුවීම වැදගත් වේ.
විදේශ විනිමය ඉපයීම් ඉහළ නැංවීමේ අවශ්‍යතාව
අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරන ලද දත්ත අනුව 2025 වසරේ පළමු මාස 11 ක කාලය සඳහා වූ අපනයන ඉපැයීම් (භාණ්ඩ සහ සේවා) ඇමෙරිකානු ඩොලර් බිලියන 15.7ක් වේ. එම ඉපැයීම්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.4ක් භාණ්ඩ අපනයනයෙන් උපයාගෙන ඇති අතර ඉතිරිය සේවා අපනයන ඉපැයීම් වේ. ඒ අනුව, 2024 වසරේ පළමු මාස 11 සමග සැසඳීමේ දී, අපනයන ආදායම සියයට 5.6 වර්ධනයක් අත්කරගෙන ඇත. මෙම කාර්යසාධනය මගින් පෙන්නුම් කරනු ලබන මූලික කරුණක් වන්නේ අපනයන ඉපැයීම් ඉහළ නංවාගැනීමට තවමත් අප අසමත්ව ඇති බවකි. ඉහත අපනයන වර්ධනය 1977-2024 දක්වා වූ කාලයේ සාමාන්‍ය අපනයන වර්ධන වේගයට වඩා පහළ අගයක් ගනු ලබයි. ඊටත් වඩා වැදගත් කරුණක් වන්නේ අපනයන ආදායම දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස ගත්කල ඉහළ යාමක් සිදුව නොමැති බවය. ඉහත දත්ත මගින් ප්‍රකාශ වන මූලික කරුණ නම් ආර්ථික අර්බුදයෙන් පසුව අප අපනයන ඉහළ නංවාගැනීමට තවමත් සමත්ව ඇති බවයි. මෙම තත්වය ඉතා අහිතකර වන අතර ගෝලීය ආර්ථිකයේ ඇති විවිධ අවිනිශ්චිතතාවලට පහසුවෙන් ගොදුරුවීමේ හැකියාව පවතී. එබැවින්, ඉතා ඉක්මනින් අපනයන ප්‍රවර්ධනය ඉලක්ක කර ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුව ඇත.
විශේෂයෙන්ම නව විදේශ වෙළෙඳ ගිවිසුම්වලට ඇතුළත් වීම මෙන්ම පවත්නා වෙළෙඳ ගිවිසුම් පුළුල් කිරීම මෙහිලා වැදගත් වේ. එමෙන්ම, අපනයන ප්‍රවර්ධනයට විදේශ ආයෝජන ආකර්ෂණය ද ඉතා වැදගත් වූවකි. විදේශ ණය බර සැහැල්ලු කිරීමේ ඉතාමත් හොඳම ක්‍රියාමාර්ගය වන්නේ අපනයන ඉපැයීම් ඉහළ නංවාලීම වේ. ආර්ථික පරිවර්තන පනත අනුව 2025 වර්ෂයට අදාළව අපනයන ඉලක්කය වූයේ අපනයන ඉපැයීම් දළ දේශීය නිමවුමේ ප්‍රතිශතයක් ලෙස සියයට 25 දක්වා ඉහළ නංවාලීම වුවත් දැනට ප්‍රකාශිත දත්ත අනුව පෙනී යන්නේ අපනයන ඉපැයීම් ද.දේ.නි. ප්‍රතිශතයක් ලෙස සියයට 20 පමණ වන බවයි. නව අපනයන සංවර්ධන සැලසුමක් සකස් කිරීමක් පිළිබඳව යෝජනා 2025 අයවැය තුළ ඇතුළත්ව පැවතියත් මේ දක්වා එවැන්නක් සිදුව ඇති බවක් පෙනෙන්නට නැත. අපනයන සහ විදේශ ආයෝජන ප්‍රවර්ධනය සඳහා වඩාත් උචිත ආයතනික ව්‍යුහයක් ආර්ථික පරිවර්තන පනත තුළ යෝජනා වී ඇති අතර එම පනත හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වන බව ප්‍රකාශ කළ යුතුව ඇත.
නිගමනය
ආපදා සහන සහ යළි ගොඩනැංවීම සඳහා රජය විසින් සැලකිය යුතු මුදලක් 2026 වර්ෂයේ දී වැය කිරීමට අපේක්ෂා කරනු ලබන අතර ලබාදීමට යෝජිතව ඇති සහන ඉතාමත් ආකර්ෂණීය ඒවා බව පෙනී යයි. මෙවැනි ආකර්ෂණීය වූ සහන ලබාදීමේ දී ඇතිවන ගැටලුවක් වන්නේ එවන් සහන සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම සහ අවභාවිත ඇතිවීම වේ. එවැනි තත්ව වළක්වාලීම වැදගත් වේ. එමෙන්ම, ආපදාව හේතුවෙන් රාජ්‍ය මූල්‍යයට අදාළ යම් යම් සීමා ඉක්මවා කටයුතු කිරීමට 2026 වර්ෂයේ දී සිදුවුවත් ඉදිරි වර්ෂවලදී යළිත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට අනුව රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම වැදගත් වේ. රාජ්‍ය වියදම් ඉහළ යත්ම විදේශ විනිමයට අමතරව ඉල්ලුමක් ඇතිවන අතර එම ඉල්ලුම අමතරව ලබාගනු ලබන විදේශ ණය මගින් සපයා ගැනීම හැකිතාක් දුරට සීමා කිරීම වැදගත්ය. ඒ මන්දයත් අමතර ණය ගැනීම් හේතුවෙන් ලංකාවේ ණය බර තවදුරටත් ඉහළ යන බැවින් සහ ණය ආපසු ගෙවීමේ හැකියාව තවමත් පවතින්නේ ආර්ථික අර්බුදයට පෙර පැවති තත්වයේම වන බැවිනි. වෙනත් වචනවලින් ප්‍රකාශ කළහොත් අප තවමත් ණය ගෙවීමේ හැකියාව වර්ධනය කරගත් බවක් පෙනෙන්නට නැත. 2025 වර්ෂයට අදාළව දැනට ඉදිරිපත්ව ඇති අපනයන දත්ත අනුව මෙම කරුණ මනාව පැහැදිලි වේ. එබැවින් කඩිනමින් විදේශ ආයෝජන සහ අපනයන ප්‍රවර්ධනය සඳහා අවධානය යොමු කළ යුතුව ඇත.

ස්වාභාවික ආපදා - රාජ්‍ය මූල්‍ය විනය ආපදා සහන දී යළි ගොඩනැංවීමේ අභියෝගය