IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


සෙලාන් බැංකුවට 2026 පළමු භාගයේදී රුපියල් බිලියන 6.1ක බදු පසු ලාබයක්

සභාපති, විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක අළුවිහාරේ

අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර

  • ආදායම් බදුවලට පෙර ලාබය රු. බි. 9.3 දක්වා සියයට 10.10 කින් ඉහළට
  • බදු පසු ලාබය රුපියල් බිලියන 6.1 දක්වා සියයට 10.78 කින් ඉහළට

2026 පළමු අර්ධ වාර්ෂිකය තුළ සෙලාන් බැංකුව විසින් රුපියල් මිලියන 9,298 ක ආදායම් බදු පෙර ලාබයක් (PBT) වාර්තා කර තිබේ. මෙය පසුගිය වසරේ පළමු භාගය තුළ වාර්තා වූ රුපියල් මිලියන 8,444 ක ලාභයට සාපේක්ෂව සියයට 10.10 ක වාර්ෂික වර්ධනයකි.

2026 ජුනි 30 වන දිනෙන් අවසන් වූ මාස 6 ක කාලසීමාව සඳහා සෙලාන් බැංකුව රුපියල් මිලියන 6,080 ක බදු පසු ලාබයක් වාර්තා කර තිබෙන අතර, එය 2025 වසරේ එම අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් මිලියන 5,489 ට සාපේක්ෂව සියයට 10.78 ක වර්ධනයකි.

මෙම වසරේ මුල් භාගය තුළ ශුද්ධ පොලී ආදායම, පසුගිය වසරේ රුපියල් මිලියන 17,762 ක ප්‍රමාණයේ සිට රුපියල් මිලියන 19,560 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය වසරේ එම කාලපරිච්ඡේදයට වඩා සියයට 10.12 ක වැඩිවීමකි. මේ සඳහා ප්‍රධාන වශයෙන් පසුගිය මාස 12 තුළ සෙලාන් බැංකුවේ මුළු වත්කම්වල සැලකිය යුතු වර්ධනයක් සිදුවීම හේතුවී තිබේ. එනම්, 2025 පළමු භාගය අවසන් වන විට රුපියල් බිලියන 812 ක් වූ අගය, 2026 ජුනි 30 වන දින වන විට රුපියල් බිලියන 976 දක්වා ඉහළ ගොස් තිබේ. බැංකුවේ ශුද්ධ පොලී ආන්තිකය (NIM) 2025 වසරේදී වාර්තා වූ සියයට 4.50 ක අගයට සාපේක්ෂව, 2026 පළමු භාගයේදී සියයට 4.16 දක්වා වෙනස් වී තිබේ.

මේ අතර, බැංකුවේ ගාස්තු පදනම් කරගත් ආදායම සියයට 20.85 ක වර්ධනයක් වාර්තා කර තිබෙන අතර එය රුපියල් මිලියන 3,847 සිට රුපියල් මිලියන 4,650 දක්වා වැඩි වී තිබේ. මෙයට ප්‍රධාන වශයෙන් කාඩ්පත්, ප්‍රේෂණ, වෙළෙඳ සේවා, ණය සහ අනෙකුත් මූල්‍ය සේවාවලින් ලැබෙන ගාස්තු ආදායම ඇතුළත්ව තිබේ.

වෙළෙඳාමෙන් ලැබුණු ශුද්ධ ලාබ/අලාභ, මූල්‍ය වත්කම් ඉවත් කිරීම මගින් ලැබෙන ශුද්ධ ලාබ සහ අනෙකුත් ශුද්ධ මෙහෙයුම් ආදායම් ඇතුළත් අනෙකුත් ආදායම් කාණ්ඩ - ප්‍රධාන වශයෙන් ඉහළ වෙළඳ ධාරිතාවන්ගෙන් ලැබුණු විදේශ විනිමය ලාභ හේතුවෙන් - මෙම කාලය තුළ වැඩි වී තිබේ. කෙසේ වෙතත්, පවතින වෙළෙඳපොළ පොලී අනුපාත සහ අදාළ මිල උච්ඡාවචනයන්හි බලපෑම පිළිබිඹු කරමින්, රජයේ සුරැකුම්පත් සහ කොටස් ආයෝජන මත සටහන් වෙළෙඳපොළ ලාබ පහත වැටීමෙන් මෙම වැඩිවීම අර්ධ වශයෙන් පියවී තිබේ.  

බැංකුවේ මුළු මෙහෙයුම් ආදායම රුපියල් මිලියන 25,542 ක් ලෙස වාර්තා වූ අතර එය 2025 වසරේ එම කාලපරිච්ඡේදය සඳහා වාර්තා වූ රුපියල් මිලියන 22,536ක අගයට සාපේක්ෂව සියයට 13.34 ක වැඩිවීමකි.

සමස්ත මෙහෙයුම් වියදම සියයට 14.23ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙන අතර, ඒ අනුව, 2025 පළමු භාගයේදී රුපියල් මිලියන 10,753 ක් ලෙස සටහන් වූ සමස්ත මෙහෙයුම් වියදම, 2026 පළමු භාගය තුළ රුපියල් මිලියන 12,282 දක්වා ඉහළ ගොස් තිබේ. 

වාර්ෂික වැටුප් සංශෝධන හේතුවෙන් සේවා නියුක්තිකයන් සඳහා වන වියදම් සියයට 12.96 ක අගයකින් වර්ධනය වී තිබෙන අතර, එය රුපියල් මිලියන 5,801 සිට රුපියල් මිලියන 6,553 දක්වා ඉහළ ගොස් තිබේ. ක්ෂයවීම් පිරිවැය සහ ක්‍රමක්ෂය වීම් ඇතුළු අනෙකුත් මෙහෙයුම් වියදම් සියයට 15.72 කින් ඉහළ ගොස් ඇති අතර, එමගින් එම කාලය තුළ පරිභෝජන භාණ්ඩවල සඳහා වූ පිරිවැය සහ අනෙකුත් අදාළ සේවා පිරිවැය ද පිළිබිඹු වේ. පොදුකාර්ය පිරිවැය කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා බැංකුව මගින් ඉලක්කගත පිරිවැය ප්‍රශස්තකරණ ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම දිගටම කරගෙන යයි.

2026 වසරේ පළමු අර්ධයේදී බැංකුව විසින් රුපියල් මිලියන 733 ක ණය හා අත්තිකාරම් හානිකරණ වියදමක්. 

වාර්තා කර තිබෙන අතර එය 2025 වසරේ පළමු අර්ධයේදී වාර්තා වූ රුපියල් මිලියන 419ක අගයට වඩා සියයට 74.98 ක වැඩිවීමකි. ගෝලීය හා දේශීය ආර්ථිකයේ වෙනස්කම්, පාරිභෝගික ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ සමස්ත ණය ගුණාත්මකභාවය පිළිබිඹු කිරීම සඳහා ගුණාත්මකභාවය ග්‍රහණය වන පරිදි හානිකරණ ණය ප්‍රතිපාදන සලසා ඇති බවට සහතික කරගැනීමට පියවර ගෙන ඇත

2025 පළමු භාගය සඳහා වාර්තා වූ රුපියල් මිලියන 2,956 ක අගයට සාපේක්ෂව 2026 පළමු භාගය සඳහා වන ආදායම් බදු වියදම රුපියල් මිලියන 3,218 ක් වී තිබේ. එසේම, මූල්‍ය සේවා සඳහා එකතු කළ අගය මත බද්ද රුපියල් මිලියන 2,564 සිට රුපියල් මිලියන 2,833 දක්වා සහ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද රුපියල් මිලියන 356 සිට රුපියල් මිලියන 396 දක්වා වැඩි වී තිබේ.

2026 පළමු අර්ධ වාර්ෂිකය තුළ බැංකුවේ සමස්ත වත්කම් වටිනාකම, රුපියල් බිලියන 921 සිට රුපියල් බිලියන 976 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පසුගිය මාස හය තුළ බැංකුවේ ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර සිටී.



අදහස් (0)

සෙලාන් බැංකුවට 2026 පළමු භාගයේදී රුපියල් බිලියන 6.1ක බදු පසු ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site