IMG-LOGO

2026 නොවැම්බර් මස 27 වන සිකුරාදා


සියෙරා කේබල්ස් මහජන කොටස් හිමිකාරීත්වය තවත් ඉහළට

  • අයිකොනික් ට්‍රස්ට් සතු වූ තවත් සියෙරා කේබල්ස් කොටස් මිලියන 34ක් විකුණයි 
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විශාලතම කොටස් හිමිකරුවා බවට පත්වෙයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සියෙරා කේබල්ස් පීඑල්සී සමාගමේ වැඩිම කොටස් හිමිකරුවා වන අයිකොනික් ට්‍රස්ට් (පෞද්) සමාගම එම කොටස් අතරින් කොටස් 34,000,000ක් අලෙවි කළ බව පවසයි. 

පසුගිය නොවැම්බර් 17 වැනිදා මෙම අලෙවිය කර ඇති අතර, එක් කොටසක් රුපියල් 36.03 ක බරිත සාමාන්‍ය මිලක් යටතේ ගනුදෙනුවේ වටිනාකම රුපියල් 1,225,112,430ක් ලෙස සටහන්ව ඇත. මෙහිදී වෙළෙඳපොළ හරහා මෙම කොටස් අලෙවිය සිදු කර ඇතැයිද එම ආයෝජකයන් පොදු කොටස් හිමිකරුවන් ලෙස ගණන් බැලෙන බවත් ලිපියක් මගින් එම සමාගම හුවමාරුව වෙත දැනුම් දී තිබේ. 

මෙම කොටස් අලෙවියත් සමගින් අයිකොනික් ට්‍රස්ට් සමාගම සතු වූ සියෙරා කේබල්ස් කොටස් හිමිකම කොටස් 163,580,768 ක (සියයට 30.43ක) සිට කොටස් 129,580,768 ක් (සියයට 24.11ක්) දක්වා අඩුවී තිබේ.

ඒ අනුව මෙලෙස අඩු වූ කොටස් ප්‍රතිශතය 6.33ක් ලෙස සටහන්ව ඇති අතර, ඒ සමගම සියෙරා කේබල්ස් පීඑල්සී සතු මහජන කොටස් හිමිකාරීත්වය සියයට 49.72ක් දක්වා ඉහළ නැග තිබේ. පසුගිය සැප්තැම්බර් 30 වැනිදා වනවිට එය සියයට 43.39ක් විය. 

මේ අතර කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීමේ රීති අංක 7.12.1 (A) යටතේ වන අවම මහජන කොටස් හිමිකාරීත්ව අවශ්‍යතා වෙත අනුකූලතාව දැක්වීම සඳහා ඉදිරියටත් පියවර ගන්නා බව සියෙරා කේබල්ස් සඳහන් කර සිටියි.

මෙම කොටස් ප්‍රමාණයේ පහත වැටීමත් සමගින්ම අයිකොනික් ට්‍රස්ට් සමාගම සියෙරා කේබල්ස් හි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව ඇති අතර, සියයට 26.16 ක කොටසක් සමගින් බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව තිබේ.

 

 



අදහස් (0)

සියෙරා කේබල්ස් මහජන කොටස් හිමිකාරීත්වය තවත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site