IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්ව නීති: ව්‍යාපාරවලට බරක් නොවී ශක්තිමත් කළ යුතු සමාගම්වල යහපාලනය


eROC පද්ධතිය තවදුරටත් ප්‍රායෝගික ලෙස වැඩිදියුණු කරන ලෙස ව්‍යාපාරික ප්‍රජාව ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ කටයුතු නවීකරණය කිරීම සඳහා 2018 දී හඳුන්වා දුන් eROC (electronic Registrar of Companies) මාර්ගගත පද්ධතිය ලියාපදිංචි සමාගම්වල තොරතුරු පවත්වාගෙන යාම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරන අන්තර්ජාල සේවාවකි. මෙම පද්ධතිය හඳුන්වාදීමත් සමග සමාගම් ලියාපදිංචි කිරීම, වාර්තා ඉදිරිපත් කිරීම සහ තොරතුරු ලබාගැනීම වඩාත් පහසු වී ඇත. කඩදාසි ලේඛන භාවිතය සැලකිය යුතු ලෙස අඩුවී ඇති අතර, ශ්‍රී ලංකාව ව්‍යාපාර කිරීමට පහසු රටක් බවට පත්කිරීමේ උත්සාහයටද බලවත් අනුබලයක් වී තිබේ. එය මෙරට විධිමත් ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුවට වැදගත් පියවරකි.

එහෙත් මෑතකදී හඳුන්වා දුන් සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්ව (Beneficial Ownership) තොරතුරු ලේඛන ගත කිරීමේ නව ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් සමාගම් ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන්, නීතිඥයන් සහ ව්‍යාපාරික නායකයන් අතර සාකච්ඡාවට ලක්වන කරුණු ගණනාවක් මතු වී තිබේ.

ඔවුන්ගේ අදහස වන්නේ විනිවිදභාවය පවත්වාගෙන යාම සහ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීම අත්‍යවශ්‍ය වුවද, එය ව්‍යාපාරික කටයුතු සංකීර්ණ කරන හෝ අනවශ්‍ය පරිපාලන බරක් ඇති කරන ලෙස ක්‍රියාත්මක නොකළ යුතු බවයි.

 සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්වය  හෙළිදරව් කළ යුත්තේ ඇයි? 

සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීමේ අවශ්‍යතාව ඇති වී ඇත්තේ ශ්‍රී ලංකාව විසින්ම හඳුන්වා දුන් නීතියක් නිසා නොවේ. එය ලොව පුරා රටවල් අනුගමනය කරන ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගෙන ආ ක්‍රමවේදයකි.

මෙම ප්‍රමිති හඳුන්වා දී ඇත්තේ ප්‍රංශයේ, පැරිස්හි පිහිටිමූල්‍ය ක්‍රියාකාරකම් කාර්ය සාධක බලකාය (Financial Action Task Force – FATF) නම් ජාත්‍යන්තර සංවිධානය විසිනි. එහි ප්‍රධාන අරමුණ වන්නේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ වෙනත් නීතිවිරෝධී මූල්‍ය ක්‍රියාකාරකම් වැළැක්වීමට රටවලට මාර්ගෝපදේශ ලබාදීමයි.

FATF සහජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (International Monetary Fund – IMF) ලබාදුන් නිර්දේශ අනුව, ශ්‍රී ලංකාව 2025වසරේදී සමාගම් පනත සංශෝධනය කර සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්ව ලේඛන පවත්වා ගෙන යාමට නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දුන්නේය. මෙම වගකීම පැවරී ඇත්තේ සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවටය.

 එකම තොරතුරු නැවත ඉල්ලීම සුදුසුද? 

ව්‍යාපාරික ප්‍රජාව පෙන්වා දෙන්නේ, නව ක්‍රමය යටතේ ඉල්ලා සිටින තොරතුරු බොහොමයක්, එනම් සමාගමක අධ්‍යක්ෂවරුන්, කොටස් හිමියන් සහ හිමිකාරිත්වයේ ව්‍යුහය පිළිබඳ සියලු‍ මූලික තොරතුරු eROC පද්ධතියේ දැනටමත් ඇතුළත්වී ඇති බවයි.

එසේ තිබියදී, එම තොරතුරු වෙනත් ආකෘතියකින් නැවත ඉදිරිපත් කිරීමට සිදුවීමෙන් සමාගම්වලට අමතර කාලයක්, ශ්‍රමයක් සහ වියදමක් දැරීමට සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.

මුදල් විශුද්ධිකරණය සහ නීතිවිරෝධී මූල්‍ය ගනුදෙනු වැළැක්වීම අත්‍යවශ්‍ය අරමුණක් බව කිසිවෙක් ප්‍රතික්ෂේප නොකරති. එහෙත්, දැනටමත් රජය සතුව ඇති තොරතුරු නැවත එකතු කිරීමෙන් අමතර වටිනාකමක් ලැබේද යන්න ප්‍රශ්න සහගතය.

 සැබෑ ප්‍රතිලාභ හිමිකරුගේ වගකීම 

තවත් වැදගත් කරුණක් වන්නේ සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු සත්‍ය බව තහවුරු කිරීමේ වගකීමයි.

දැනට පවතින නියමයන් අනුව මෙම වගකීම භාරගත හැක්කේ ශ්‍රී ලංකාවේ පදිංචි සමාගම් අධ්‍යක්ෂවරයකුට, කළමනාකරුවකු හෝ සේවකයකුට, නැතහොත් ගණකාධිකාරීවරයකු, නීතිඥයකු හෝ සමාගම් ලේකම්වරයකු වැනි සුදුසුකම් ලත් වෘත්තීයවේදියකුටය.

එහෙත් බොහෝ දෙනාගේ අදහස වන්නේ, සමාගමක සැබෑ ප්‍රතිලාභ හිමිකරු කවුදැයි නිවැරදිව දන්නේ එම පුද්ගලයාම හෝ අදාළ කොටස් හිමියාම බවයි. එබැවින් සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්වය ප්‍රකාශ කිරීමේ නීතිමය වගකීම අදාළ පුද්ගලයාටම පැවරිය යුතු බවද, එම ප්‍රකාශය දැනටමත් eROC හරහා ඉදිරිපත් කරන සමාගමේ නිල ලේඛනවලට ඇතුළත් කිරීම ප්‍රමාණවත් වනු ඇතැයිද ඔවුහු පෙන්වා දෙති.

 සමාගම් කොටස් හුවමාරු වාර්තා කිරීම 

නව නියමයන්ට අනුව, කොටස් හිමිකාරිත්වයේ වෙනස්කම් සිදුවන සෑම අවස්ථාවකම ඒවා වාර්තා කිරීමේ අවශ්‍යතාව පවතී. එහෙත්, වර්තමාන eROC පද්ධතිය තුළ කොටස් හුවමාරු කිරීම්, ක්ෂණිකව යාවත්කාලීන කළ හැකි පහසුකමක් නොමැති බව වෘත්තීයවේදීහු පෙන්වා දෙති.ඒ සඳහා වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම තෙක් බලා සිටිය යුතුය.

ඒ වෙනුවට, පවතින පද්ධතිය පරිශීලකයන්ට වඩාත් පහසු වන පරිදි වැඩිදියුණු කර, කොටස් හුවමාරු කිරීම් අන්තර්ජාලය හරහා කඩිනමින් ලියාපදිංචි කළ හැකි ක්‍රමයක් හඳුන්වාදීමෙන් නියාමන ආයතනවලට අවශ්‍ය තොරතුරු ඉක්මනින් ලබාගත හැකිවන අතර, සමාගම්වලට අමතර වාර්තාකරණයක අවශ්‍යතාවද ඉවත් කළ හැකිය.

 සියලු‍ සමාගම් එකම  ආකාරයෙන් සැලකීම සුදුසු නැත

විශේෂයෙන්ම සීමිත ඇපකාර සමාගම් (Companies Limited by Guarantee) සම්බන්ධයෙන් වෙනස් ප්‍රවේශයක් අවශ්‍ය බව වෘත්තීයවේදීහු පෙන්වා දෙති.

මෙවැනි සමාගම්වල කොටස් ප්‍රාග්ධනයක් හෝ කොටස් හිමියන් නොමැති අතර ඈවරකිරීමකදී ණයගැතියන් සිටියොත් ඔවුන් ප්‍රතිපූරණය කිරීමට පොරොන්දු වන, එනමුත් ප්‍රතිලාභවලට හිමිකම් නොලබන සාමාජිකයන් පමණක් සිටී. ඒවා සාමාන්‍යයෙන් පුණ්‍යායතන, වෘත්තීය සංගම්, වෙළෙඳ සංගම්, ක්‍රීඩා සමාජ, අධ්‍යාපන ආයතන සහ රාජ්‍ය නොවන සංවිධාන ලෙස ක්‍රියාත්මක වේ.

එවැනි ආයතනවල කොටස් හිමිකාරිත්වයක් නොමැති බැවින්, සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්වය පිළිබඳ සංකල්පය ඒ ආකාරයෙන්ම යෙදවීම ප්‍රායෝගික නොවන බව ඔවුහු පෙන්වා දෙති. 

එමෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් දැනටමත් පවතින නීති අනුව සියයට දහයකට (10%) වැඩි කොටස් හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු වාර්තාකරයි. එබැවින්, එම සමාගම්වලින්, එම තොරතුරුම, තවත් මාර්ගයකින් නැවත ඉල්ලා සිටීම අනවශ්‍යය.

 eROC පද්ධතියේ ප්‍රායෝගික ගැටලු‍ 

නව පද්ධතිය භාවිතා කිරීමේදීසමාගම් ලේකම්වරු මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු ගැනද සලකා බැලිය යුතුය. උදාහරණයක් ලෙස, අධ්‍යක්ෂවරයෙකුගේ ජංගම දුරකථන අංකයේ එක් ඉලක්කමක් වැරදී ලෙස ඇතුළත් වුවහොත්, සම්පූර්ණ අයැදුම්පතම අවලංගු කර නැවත සියලු‍ තොරතුරු ඇතුළත් කිරීමට සිදුවන බව ඔවුහු පවසති.

මෙවැනි සුළු දෝෂ නිවැරදි කිරීමට පවා විශාල කාලයක් වැය වන අතර, ව්‍යාපාරවල පිරිවැයද ඉහළ යයි.

සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් දුරකථන මාර්ගයෙන් තාක්ෂණික සහාය කඩිනමින් නොලැබීම හේතුවෙන් සුළු ගැටලු‍ විසඳා ගැනීමට පවා සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පෞද්ගලිකව යාමට සිදුවන අවස්ථා බොහොමයක් ඇති බව ඔවුහු පෙන්වා දෙති.

 සියලු‍ පාර්ශ්ව එක්ව ප්‍රායෝගික  විසඳුම් සොයාගත යුතුයි 

සමාගම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ වර්තමාන eROC පද්ධතිය වෙනස් කිරීම පහසු නොවන බවය. එහෙත් ශ්‍රී ලංකාවේ සිටින ජාත්‍යන්තර මට්ටමේ තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ගේ දැනුම සහ අත්දැකීම් උපයෝගී කරගනිමින් මෙම ගැටලු‍ සඳහා ප්‍රායෝගික විසඳුම් සකස් කළ හැකි බව ව්‍යාපාරික ප්‍රජාව විශ්වාස කරති.

එබැවින්, ප්‍රතිපත්ති සම්පාදකයන්, තොරතුරු තාක්ෂණ විශේෂඥයන්, සමාගම් ලේකම්වරුන්, ගණකාධිකාරීවරුන්, නීතිඥයන් සහ ව්‍යාපාරික ප්‍රජාව එක්ව සාකච්ඡා කර, විනිවිදභාවයත් ව්‍යාපාරික කාර්යක්ෂමතාවත් එකවර ආරක්ෂා කරන පද්ධතියක්නිර්මාණය කිරීම කාලෝචිත අවශ්‍යතාවකි.

 අවසානයේ 

සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්වය පිළිබඳ නීති හඳුන්වාදීමේ වැදගත් අරමුණු වන්නේ විනිවිදභාවය සහතික කිරීම සහ මූල්‍ය අපරාධ වැළැක්වීමයි.

එහෙත් එම අරමුණු ඉටු කිරීම සඳහා කිසිවිටක නොපනත් කම් සහ මූල්‍ය අපරාධවල නොයෙදෙන බහුතර ව්‍යාපාරික ප්‍රජාව මත අනවශ්‍ය පරිපාලන බරක් පැනවීම යුක්ති සහගත නොවේ.

අභියෝගය වන්නේ දැනටමත් ක්‍රියාත්මක වන eROCපද්ධතිය නව අවශ්‍යතාවලට ගැළපෙන පරිදි වැඩි දියුණු කර, එකම තොරතුරු නැවත නැවත ඉල්ලා නොසිට, සියලු‍ පාර්ශ්වවල වගකීම් පැහැදිලි කරමින්, කාර්යක්ෂම හා ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කිරීමය. එය ව්‍යාපාරික සමාගම්වල යහපාලනය ශක්තිමත් කිරීමටත්, ව්‍යවසායක විශ්වාසය ඉහළ නැංවීමටත්, ශ්‍රී ලංකාවට නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් සැලකිය යුතු දායකත්වයක් ලබා දෙනු ඇත

(2026 ජූනි 26 දින Daily FT පුවත්පතේ පළ වූ ලිපියේ සිංහල අනුවාදය)
(ලියුම්කරු මධ්‍යම සහ මහා පරිමාණ ව්‍යවසාය පරිපාලනය පිළිබඳ වසර 45 කට වැඩි පළරුද්දක් ඇති වෘත්තියවේදියෙකි)



අදහස් (0)

සැබෑ ප්‍රතිලාභ හිමිකාරිත්ව නීති: ව්‍යාපාරවලට බරක් නොවී ශක්තිමත් කළ යුතු සමාගම්වල යහපාලනය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site