IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


ස්ප්‍රිංවැලි බට කූඩ කර්මාන්තය අභාවයට

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ. විජේසිංහ

මෙරට භෝග වගාව අතර සුවිශේෂී ස්ථානයක් එදා ගාලු‍ දිශාවට හිමිව තිබිම නොරහසකි. ඒ නිසාම ගාලු‍ දිශාවද කෘෂිකාර්මික දිශාවක් ලෙස ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබීම ද නොරහසකි. මේ රටේ අනෙක් දිශාවල ව්‍යාප්තව තිබූ ප්‍රධාන භෝග ද ගාලු‍ දිශාවේ එකල සරුවට වැවුණේය. තේ, පොල්, රබර්, කුරුඳු ඒ අතර ප්‍රධානය. මේ වගා නිසාම ගාලු‍ දිශාවේ දහස් සංඛ්‍යාත ජනකායකගේ බට කට පිරුණාහ. කසි පනම්වලින් ගාල්ලේ ඇත්තන්ගේ අත මිට සරුවිය.

එහෙත් අද තත්වය ඊට ඉඳුරාම වෙනස්වී තිබේ. මේ වනවිට ගාලු‍ දිශාවෙන් රබර් වගාව සමුගෙන යාමට පටන් ගෙන තිබේ. එදා ගාලු‍ දිශාවේ රබර් වගාවට ජනප්‍රියවී තිබූ ප්‍රදේශ ගණනාවකි. කරන්දෙණිය, ඌරගස්මංහන්දිය, ඇල්පිටිය, පිටිගල, නියාගම ඒ අතර ප්‍රධානය. මේ ප්‍රදේශවල වවා තිබූ රබර් වගාවෙන් ප්‍රයෝජන ගැනීමට රජයේ රබර් කර්මාන්ත ශාලාද ඉදිවුණේය. ඇල්පිටිය කැටපලේ රබර් කර්මාන්ත ශාලාව ඊට හොඳම නිදසුනකි. එදා මේ රබර් කර්මාන්ත ශාලාවේ ගාලු‍ දිශාවේ ශ්‍රමිකයෝ සිය දහස් ගණනක් රැකියාව කළහ.

ගාල්ලේ රබර් කර්මාන්තය පිරිහීමත් සමගම ඇල්පිටිය කැටපලේ ස්ථාපිත කර තිබූ රජයේ රබර් කර්මාන්ත ශාලාවට ද පැමිණියේ දුර්භික්ෂයකි. මේ නිසාම කැටපලේ රබර් කර්මාන්ත ශාලාව ද වැසුණේ එමගින් ජීවත්වූ සිය දහස් ගණනක් මහ පාරට වැටෙමිනි. එදා ඇල්පිටියට පමණක් නොව ගාලු‍ දිශාවටම සම්පතක්ව තිබූ කැටපලේ රජයේ රබර් කර්මාන්ත ශාලාව වසා දැමීමත් සමගම රජයට පමණක් නොව අවට ප්‍රදේශවාසීන්ටද අත්වූයේ කනගාටුදායක ඉරණමකි. එය කැලෑවට ගියේ බලා සිටියදීමය. එම ස්ථානය සොර සතුරන් ඇතුලු‍ විවිධ අපචාරී ක්‍රියාවල නිරතවූවන්ගේ පාරාදීසයක්වූවේ බලා සිටියදීමය.

ගාල්ලේ රබර් කර්මාන්තය වළපල්ලටම යන්නේ එම කර්මාන්තයේ නියුත්තන්ට හා රබර් වගාකරුවන්ට යනඑන මං නැති කරමිනි. ඒ නිසාම ඔවුහු ඊට වෙනත් විකල්ප සඳහා ගියහ. මේ නිසාද ගාලු‍ දිසාවෙන් රබර් කර්මාන්තය සමුගෙන යාමට පටන් ගත්තේය. මේ ගාලු‍ දිසාවේ රබර් කර්මාන්තයට අත්වී ඇති අවාසනාවන්ත තත්වය පිළිබඳව විවිධ අභියෝග මැද තවමත් රබර් කර්මාන්තයේ නියැලෙන පිරිස් අප සමග කළ කතා බහ මෙසේය.

ඌරගස්මංහන්දිය දමින්ද සඳමාල් 

මම හිතන්නේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ සිටින අවසාන රබර් වගාකරුවා මම වෙන්න ඇති. එදා අපේ ගම් පළාතෙන් භාගයකටම වඩා වැඩියෙන් තිබුණේ රබර් වගාව. අනෙක රබර් වගාව නිසා පරිසරය රැකුණා. ඉඩකඩම් සෝදා පාලු‍ව නැතිවුණා. ඊට හේතුව රබර් වගාවේ තිබූ තුරු වියනයි.

රබර් වගාව කියන්නේ ඒ තරම් පරිසරයට හිතකර වගාවක්. පරිසරය සංරක්ෂණය කළ වගාවක්. ඒ වගේම රබර් වතු හිමියන්ට ලාභදායී වගාවක්. රබර් අස්වැන්න අරගෙන ඉවර වුණාම පැරණි රබර් ගස තව කර්මාන්ත ශාලාවක අමුද්‍රව්‍යක් වුණා. ඒ දර සඳහා රබර් ගස යොදා ගැනීමත් සමගයි. අපේ ගම්මානවල බේකරි නිෂ්පාදන සඳහා ප්‍රධාන ඉන්දනය ලෙස යොදා ගත්තේ රබර් දරයි. ඒ වගේම රබර් කපලා,රබර් කිරි එකතු කරලා කොච්චරනම් ජීවත්වුණාද. ගොටු කොළ වගාව රබර් වගාවේ හොද යටිතල වගාවක්.

ගාල්ලෙන් රබර් කර්මාන්තය වළපල්ලට ගියේම අදාළ බලධාරීන්ගේ අවධනයෙන් මේ කර්මාන්තය ගිලිහී යාමත් සමගයි. එදා රබර් කර්මාන්තය කරගෙන යාමට රජයෙන් ලබාදුන්නු සහන නැතිව ගියා. රබර්වලට නිසි මිලක් නැහැ. දවසින් දවසම රබර් කිරි මිල වෙනස් වෙනවා. ස්ථාවර මිලක් රබර් කිරිවලට ලැබෙන්නේ නැහැ. වෙළඳ පොළේ රබර් කිරි මිල අපිට දැන ගන්න ක්‍රමයක් නැහැ. වෙළෙඳ පොළේ තේ,කුරුඳු මිල අපිට දැන ගන්න හැකියාවක් තිබුණත් රබර් කිරි මිල දැන ගන්න හැකියාවක් අපිට නැහැ. අද දවසේ රබර් කිරි මිලදී ගන්න තැනැත්තා ඉල්ලන මිලට රබර් කිරි ටික දීලා අත පිහදා ගෙන අපිට එන්න වෙලා තියෙනවා.

වැසි ජලය රබර් කිරිවලට වැටීම වළක්වාලීමට යල් පැන ගිය ක්‍රමවලින් ඔබ්බට ගිය ක්‍රමවේදයක් හදන්න ඕන. රජය පැත්තෙන් රබර් වගාවට දෙන සහයෝගය හොඳටම මදි. සහයෝගයක් නැති තරම්.

මේ නිසාම එදා ගාල්ලේ සශ්‍රීක රබර් වතු අද කුරුඳු වතු හා තේ වතු බවට පත්වෙමින් තිබෙනවා. රටක් රාජ්‍යයක් දියුණු වෙන්න නම් ඒ රටේ රාජ්‍යයේ සෑම කර්මාන්තයක්ම සමබරව පවත්වාගෙන යායුතුයි. රබර් වතු කුරුඳු වතු හා තේ වතු වෙනවා කියන්නේ එම භෝග දෙකේම නිෂ්පාදන වැඩි වෙනවා. එවිට ඉල්ලු‍ම අඩුවෙනවා. ඉල්ලු‍ම අඩුවීමත් සමගම ඒ කර්මාන්ත ද බිද වැටෙනවා. මේක බොහෝම සරල කාරණාවක්. බලධාරීන් තවම පමා නැහැ. 

එම්.ඒ.ධනපාල මෙසේ කීවේය.

එදා රබර් කර්මාන්තයෙන් දිවි ගෙවූ පිරිස් අපේ ගම්මානවල ඕන තරම් හිටියා. කාන්තා,පිරිමි දෙපාර්ශවයටම රබර් කර්මාන්තයේ රැකියා තිබුණා. උදේ රැයින් රබර් වත්තක වැඩට ගියාම මධ්‍යාහ්න වෙනකොට වැඩ ඉවරයි. අපිට දහවල ඉතුරු පැය තුන හතරේ වෙන වැඩක් කර ගන්නත් පුළුවන්. මේ නිසාම අපේ කාන්තාවන් ඉතා කැමැත්තෙන් රබර් කර්මාන්තයට එකතුවුණා. එමගින් හොඳ ආදායමක් ලැබුවා. සිය පවුලට හොඳ ශක්තියක්වුණා. අද තත්වය ඊට ඉඳුරාම වෙනස්. මේ වනවිට අපේ ප්‍රදේශවල රබර් ඉඩම් කුරුඳු ඉඩම්,තේ ඉඩම් බවට ඉතා ශීඝ්‍රයෙන් පත්වෙමින් තියෙනවා. මේක ගාලු‍ දිසාවේ රබර් කර්මාන්තයට නරක දශාවක්.

අඩු වියදමකින් වැඩි නිෂ්පාදනයක් ගන්න පුළුවන් කර්මාන්තයක්. රබර් කිරිවලට ඇති ඉල්ලු‍ම අඩුවෙල නැහැ. අවශ්‍ය ඒ කර්මාන්තය වත්මන් තත්වයට අනුගත කිරීමයි. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. බලධාරීන් කර යුතු කාර්යයක්. අපේ රටේ රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවක් තියෙනවා. මේ දෙපාර්තමේන්තුවේ වගකීමක් වෙන්න ඕන රබර් කර්මාන්තය සංවර්ධනය කිරීම. වෙලා තියෙන්නේ ඒ දෙපාර්තමේන්තුවටත් දැන් තමන්ගේ වගකීම වගවීම අමතකවීමයි. කර්මාන්තයක් යම් ප්‍රදේශයකින් නැතිවෙලා යනවා කියන්නේ ප්‍රදේශයේ සංවර්ධනය බිංදුවටම වැටෙනවා කියන එකයි.

ආර්.ඒ. කුසුමාවතී මෙසේ කීවාය.

මම හිතන විදිහට ගමේ කාන්තාවකට හොඳම රැකියාව රබර් වත්තක වැඩට යාමයි. අපිට පැය කීයද වැඩ කරන්න තියෙන්නේ. ඒ වැඩ කරන ටිකේ අදායමකුත් අරගෙන ගෙදර වැඩ ටික ගෙදර ඉඳලම කර ගන්න පුළුවන්. අපි බිංදුවක්වත් කැමැති නැහැ රබර් කර්මාන්තය අපේ ප්‍රදේශවලින් සමුගන්නවට. අපි රබර් වත්තේ වැඩට ගියේ ඉතා කැමැත්තෙන්. රස්සාව කලේ මහත් ඕනෑකමෙන්. ලැබුණු ආදායම ගෙදරට ශක්තියක්වුණා. මේ රස්සාව නැතිවුණොත් අපිට යන එන මං නැතිවෙනවා. රබර් කර්මාන්තය ආරක්ෂා කරලා දෙන්න කියලා අපි අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

පහත රට වතු කම්කරුවන්ගේ සංගමයේ ලේකම් යසස් පණ්ඩිතරත්න මෙසේ කීවේය.

අපි සංගමයක් විදිහට රබර් කර්මාන්තය ගාලු‍ දිසාවෙන් අතු ගෑවිලා යනවට විරුද්ධයි. මේ තත්වය ඇති කළේ අහිංසක වතු කම්කරුවන් නෙමෙයි. වතු හාම්පුතුන් හා ඒ ඒ කාලයට පත්වෙන මහජන නියෝජිතයන්. මේ අයට ඕන ලාබයම විතරයි. කම්කරුවන්ගේ අයිතිවාසිකම් ලබලා දෙන්න ඕන නැහැ. වගාවක් ආරක්ෂා කරන්න ඕන නැහැ. රබර් වගාවට වුණෙත් ඒකයි. රබර් කර්මාන්තය ගාලු‍ දිශාවෙන් සමුගෙන යාමෙන් ගාලු‍ දිශාවේ රැකියා අහිමිවූ වතු කම්කරුවන්ගේ සංඛ්‍යාව කියලා වැඩක් නැහැ. ඒ මිනිස්සු පාරටම වැටුණා.
ගාල්ලේ රබර් කර්මාන්තයට අද ලබලා තියෙන්නේ සෙනසුරු දශාව. මෙහෙම ගියොත් රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ගාලු‍ දිසාවේ රබර් සංවර්ධනය සදහා අනුයුක්ත කරලා ඉන්න රජයේ නිලධාරීන්ට මොකද වෙන්නේ. ඒ අයට මොකුත්ම වෙන්නේ නැහැ. රස්සාව එහෙමම තියෙනවා. රබර් සංවර්ධනය කිරීම කෙසේ වෙතත් ගාලු‍ දිසාවෙන් රබර් කර්මාන්තය සමුගෙන යාම වළක්වාලීමට මේ නිලධාරීන් ක්‍රියා කරනවා අපි දැකලා නැහැ. 

පහත රට වතු කම්කරුවන්ගේ සභාපති රුවන් ගාල්ලගේ  

පහත රට තවත් ආර්ථික බෝගයක් වන රබර් වගාව ගාලු‍ දිසාවෙන් සමුගෙන යාමට පටන් ගෙන තිබීම බොරුවක් නෙමෙයි. ඒක සම්පූර්ණ ඇත්ත කතාවක්. මේක කණගාටුදායක තත්වයක්. ලංකාවේ අනෙක් දිසාවල වගේම ගාලු‍ දිසාවෙත් රබර් කර්මාන්තය හොඳටම තිබුණා. එසේ හොඳටම කෙරීගෙන ගිය කර්මාන්තයක් වළපල්ලට ගියේ අදාළ බලධාරීන්ගේ නොහැකියාව සහ අලසකම නිසයි. ඒ නිසා රබර් කර්මාන්තයෙන් ජීවිතය ගැටගහගෙන ගිය දහස් සංඛ්‍යාත ශ්‍රමිකයන්ට වැදුණේ මරු පහරක්.

රබර් නැවත වගා කිරීමේ වැඩපිළිවෙළකුත් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. රබර් වගාව පාඩු දායක වගාවක් නෙමෙයි. රස්සා දෙන කර්මාන්තයක්. එවන් වටිනා කර්මාන්තයක් මෙසේ වැටීමට ඉඩදීම ජාතික අපරාධයක්.

 



අදහස් (0)

ස්ප්‍රිංවැලි බට කූඩ කර්මාන්තය අභාවයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site