භානුක අමරසිංහ
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද සංචාරක එකතු කළ අගය මත බදු (VAT) ආපසු ගෙවීමේ ක්‍රමවේදය (TVRS) යළි ආරම්භ කරනු ලබන බව එම දෙපාර්තමේන්තුව පවසයි. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 58 අ වගන්තිය හා 2018 අංක 25 දරන සංශෝධිත පනත යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක වෙයි.
විශේෂයෙන්ම මෙරටට පැමිණෙන සංචාරකයන් වෙත බදු ආපසු ගෙවීමක් සිදු කරමින් ඔවුන් මෙරට තුළ සිදු කරන මුදල් වියදම් කිරීම් ඉහළ නංවමින්, ශ්‍රී ලංකාව සංචාරකයන් අතර වඩාත් වාසි සහගත සාප්පු අත්දැකීමක් සහිත ගමනාන්තයක් ලෙස ප්‍රචලිත කිරීම මෙහි අරමුණ වී තිබේ.
ඒ අනුව මෙම ක්‍රමවේදය යටතේ බලයලත් සිල්ලර වෙළෙඳුන් ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහිදී නව බලයලත් සිල්ලර වෙළෙඳුන්ට ඒ සඳහා ලියාපදිංචිවීමේ අවස්ථාවද උදාකර දී තිබේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 1944 ඔස්සේ ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් හෝ, දුරකතන අංක 011 213 4192/011 213 5435 ඔස්සේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ඇමතීමෙන් හෝ ලබා ගත හැකි බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කරයි.
සංචාරක VAT ආපසු ගෙවීමේ ක්‍රමය යළි ඇරඹේ