IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සංචාරක තෝතැන්නක් වී ඇති හබරණ හිරිවඩුන්න ගම්මැද්ද

බුල්නෑව ප්‍රදීප් රණතුංග 


අප කලකට ඉහත මෙරට ග්‍රාමීය පරිසරය තුළ දුටු නොඉඳුල්, අපිරිමිත ස්වාභාවය අද පිටිසර ගම්මැදි ආශ්‍රිතව පවා දැකගත හැකි නොවේ. ඒවා හුදු මතක මාත්‍රා පමණක්ම වී තිබේ. එහෙත් තවමත් එවැනි වටිනාකම් සපිරි අනුරාධපුර දිස්ත්‍රික්කයේ උතුරු මායිමේ පිහිටි, හබරණ, හිරිවඩුන්න ග්‍රාමය මේ වන විට දෙස්, විදෙස් සංචාරකයන්ගේ ඉහළ අවධානයක් දිනාගැනීමට සමත්ව තිබේ. 
හිරිවඩුන්න ගම්මානය ඓතිහාසික සීගිරිය සහ හබරණ නගරය ආසන්නයේ දී මුණගැසේ. අනුරාධපුර නගරයේ සිට කිලෝ මීටර් 70 ක් දුර ගෙවා පැය එකහමාරක් වැනි කාලයකදී ඒ වෙත ළඟාවිය හැකිය. හබරන නගරයේ සිට කිලෝ මීටර් 03 ක සහ සීගිරියේ සිට කිලෝ මීටර් 12 ක දුරකින් හිරිවඩුන්න ගම්මානය පිහිටා තිබේ. 
එක් පසෙකින් පොළොන්නරුව දිස්ත්‍රික්කයත්, තවත් පසෙකින් මාතලේ දිස්ත්‍රික්කයත් මායිම්ව මේ සාම්ප්‍රදායික ගම්මානය දැකගත හැකිය. විචිත්‍රවත් ස්වාභාවික පරිසරය, වන සතුන්ගේ අපුරත්වය මෙන්ම එහි සාම්ප්‍රදායික ජන ජිවිතය සංචාරක ආකර්ෂණය දිනීමට සමත්ව ඇත. එම ගම්වාසීහු සංචාරක මග පෙන්වන්නන්, සංචාරකයන් සඳහා ආහාර සපයන්නන් සහ නවාතැන් සපයන්නන් ලෙස කටයුතු කරති. මෙහි ගැමියන් සකසන මෙරට සාම්ප්‍රදායික ග්‍රාමීය ආහාර දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ද ඉහළ අවධානයක් දිනීමට සමත්ව ඇත. මෙහි පවුල් 400 ක දෙදහසකට ආසන්න පිරිසක් දිවි ගෙවති. 
වසභ රජ දවස ඉදිකොට ඇති බව පැවසෙන මෙහි පිහිටි වැව ගම්මානයේ ජීවනාලියයි. මේ මාහැඟි වාපි සම්පත ගම්මානයේ කෘෂිකාර්මික දිවි පෙවෙතට නොමද සවියකි. ඔරුවක නැගී වැව් දිය මත යාත්‍රා කරමින් හාත්පස සොභා සෞන්දර්ය විදීමට මෙහි පැමිණෙන සංචාරකයන්ට අවස්ථාව සැලසේ. සන්සුන් ජලකඳ මත ගෙවීයන කාලය සියලු‍ කම්කටොළු අමතක කරවන සුලු‍ය. මැටි භාණ්ඩ නිෂ්පාදනය, රෙදි විවීම, ආහාර පිසීම වැනි සාම්ප්‍රදායික ගැමි ජීවන පෙවෙතෙහි විචිත්‍රවත් අත්දැකීම් හා මුහුවීමේ අවස්ථාව ද මෙහිදී උදාවේ. සාම්ප්‍රදායික ගැමි නිවාස දකිමින්, හේන්, කුඹුරු බිම් පසුකර ගොන් බැදි කරත්තයක නැගී ගම වටා යෑමට ලැබෙන අවස්ථාව සතුට පිරි වෙනස්ම අත්දැකීමකි. 
ගම්මැද්දේ ඉවුම්, පිහුම් ක්‍රම දැකීමට හා සාම්ප්‍රදායික ආහාර රස බැලීමට ලැබෙන අවස්ථාව ද සොදුරු මතක මාත්‍රාවකි. හිරිවඩුන්න ගම්මානය වනාන්තර, තණබිම් සහ තෙත්බිම් වැනි විවිධ පරිසර පද්ධති සහිත ජෛව විවිධත්ව උණුසුම දනවන ස්ථානයකි. මෙය බොහෝ පක්ෂි විශේෂ සඳහා කදිම වාසස්ථානයක් බවට පත්ව තිබේ. පක්ෂීන්ගේ චර්යා නිරීක්ෂණයේ යෙදෙන ගවේෂකයන්ට සුදුසු ස්ථානයක් බවටද එය පත්වෙයි. හිරිවඩුන්න ගම්මානය පක්ෂි විශේෂ 50 කට අධික සංඛ්‍යාවකට නිවහන වේ. හිරිවඩුන්න රජ මහා විහාරය බුදු දහමින් මෙරට ජනයා ලද ශික්ෂණය මොනවට විද්‍යාමාන කරවයි. සෙල් ප්‍රතිමා, ගල් පොකුණු, ගල් කණු සහ පුවරු ආදිය ඒ වගට මොනවට දෙස් දෙයි. මෙහි වෙල් දෙනි, වැව් දිය පිස හමන සුළඟ ගතත්, සිතත් සුවපත් කරවයි. රළු කඨෝර, අනවරත ජීවන ගමනට එය දිව ඔසුවකි. වියැකී යන මෙරට සාම්ප්‍රදායික ජන උරුමයේ සහ පාරිසරික අපුරත්වයේ තෝතැන්නක් යැයි කටපුරා කියත හැකි හිරිවඩුන්න ගම්මැද්දට පැමිණ යන්නැයි අපි ඔබටත් ඇරියුම් කරන්නෙමු. 

 

 



අදහස් (0)

සංචාරක තෝතැන්නක් වී ඇති හබරණ හිරිවඩුන්න ගම්මැද්ද

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site