IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමට විශේෂ වැඩමුළුවක්

ලෝක සංචාරක දිනය 2025 වෙනුවෙන් පැවැත්වුණු ජාතික සැමරුම් මාලාවේ ප්‍රධාන අංගයක් ලෙස සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමේ වැඩමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) තත්ව සහතිකකරණ අංශය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ සංචාරක ආර්ථික සහ ආගන්තුක සත්කාර කළමනාකරණ උපාධිධාරීන්ගේ සංගමය එය සංවිධානය කර තිබිණි. 
ව්‍යාපාර ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට, ව්‍යාපාර හිමිකරුවන්ට සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ සිය ව්‍යාපාර ලියාපදිංචි කිරීම බලාපොරොත්තු වන ව්‍යවසායකයන්ට සහාය වීම එම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය. ඒ තුළින් මෙරට සංචාරක ක්ෂේත්‍රයේ තිරසාර වර්ධනය ඇති කිරීමට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය දක්වන දායකත්වය තව දුරටත් ඉහළ නැංවීමට අපේක්ෂා කරන ලදී. 
ප්‍රධාන දේශකයකු ලෙස ඊට සම්බන්ධ වූ SLTDA තත්ව පාලන සහතිකකරණ අංශයේ අධ්‍යක්ෂ තරංගා රූපසිංහ මහත්මිය ක්ෂේත්‍රයට අදාළ ප්‍රමිතිකරණ සහ තත්ව සහතිකකරණ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් අදහස් දැක්වූවාය. ECO Treats Tourism  සහ PASS Asian  යන පෞද්ගලික සමාගම්වල සභාපති සහ The Rivergate Villa  පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය සමන්ත පතිරණ මහතා සාර්ථක ව්‍යවසායකයකු සහ ආසියානු සංවර්ධන බැංකුවේ iCRIP ව්‍යාපෘතියට සම්බන්ධ තිරසාර සංචාරක විශේෂඥයකු ලෙස ඔහු සතු අත්දැකීම් රැස් වී සිටි පිරිස සමග බෙදා ගත්තේය. Lanka Business TV  ප්‍රධාන විධායක නිලධාරී ජයන්ත කෝවිලගොඩගේ මහතා මූල්‍ය සැලසුම්කරණය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා ඉතා වැදගත් ඩිජිටල් අලෙවිකරණ උපාය මාර්ග පිළිබඳව අදහස් දැක්වූයේය. 
සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරවලට අදාළ මූලික කරුණු, SLTDA සමග ලියාපදිංචි වීමෙන් ලැබෙන වාසි, ලියාපදිංචිය ලැබූ ව්‍යවසායකයන්ගේ අත්දැකීම්, සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමේ වැදගත්කම වැනි බොහෝ අංශ ආවරණය වන ආකාරයෙන් වැඩමුළුව සංවිධානය කර තිබිණි. සහභාගී වූ පිරිසට සංචාරක ක්ෂේත්‍රයට අදාළ නව තත්ත්වවලට අනුවර්තනය වීම, අලෙවිකරණ කටයුතු ඉහළ නංවා ගැනීමට ඩිජිටල් උපාංග යොදා ගැනීම සහ නව්‍යකරණය ප්‍රවර්ධනය වැනි දෑ පිළිබඳව පුළුල් දැනුමක් ලැබිණි.



අදහස් (0)

සංචාරක ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බල ගැන්වීමට විශේෂ වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site