විමුක්ති එස් රුද්රිගු
සංචාරක කර්මාන්තයෙන් ශ්රී ලංකාව මෙම වසරේ පළමු මාස 6දී ඇමෙරිකානු ඩොලර් බිලියන 1.71 ක මුදලක් උපයා ඇති බවත්, එය පෙර වසරට සාපේක්ෂව සියයට 10 වර්ධනයක් බවත් ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල සඳහන් වේ.
පසුගිය වසරේ පළමු මාස 6 තුළ ශ්රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.55 ක මුදලක් උපයා තිබිණි. එසේම පසුගිය මාසයේදී සංචාරක කර්මාන්තයෙන් ශ්රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 169.5 ක් උපයා තිබූ අතර, එය 2024 වසරේ ජූනි මාසයේදී උපයා ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 151.1 ට සාපේක්ෂව එය සියයට 12.1 වර්ධනයකි.
ශ්රී ලංකාව මෙම වසරේදී සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ක මුදලක් උපයා ගැනීමට සහ සංචාරකයන් ලක්ෂ 30 ක් ගෙන්වා ගැනීමට ඉලක්ක කර ඇති අතර, ඒ අනුව ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි මාස 6 දී තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.29 ක් මුදල සංචාරක කර්මාන්තයෙන් උපයා ගත යුතුව ඇත.
එසේම මෙම වසරේ පළමු මාස 6 ශ්රී ලංකාවට සංචාරකයන් 1,168,044 ක පිරිසක් මෙරටට පැමිණ ඇති අතර එය 2024 පළමු මාස 6 දී මෙරටට පැමිණි සංචාරකයන් 1,010,249 සාපේක්ෂව සියයට 15.6 ක වර්ධනයකි.
පසුගිය වසරේදී ශ්රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.17 ක ආදායමක් උපයා ගෙන තිබූ අතර, එය 2023 වසරේ උපාය ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.07 ක ආදායමට සාපේක්ෂව සියයට 53.2 ක වර්ධනයක් විය. 2024 වසරේදී මෙරටට සංචාරකයන් මිලියන 2.05 ක් මෙරටට පැමිණ තිබූ අතර, පසුගිය වසරේදී සංචාරකාන් මිලියන 2.3 ක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක කර තිබිණි.
සංචාරක කර්මාන්තයෙන් පළමු මාස 6දී ඩො.බි. 1.71ක්