IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


සෞඛ්‍ය අංශයේ රාජ්‍ය නියාමනය පරෙස්සමින් සිදු නොවුණොත් ආයෝජනවලට තර්ජනයක්

  • වෛද්‍ය උපකරණවලට පැනවූ වැට් බදු සහ බලශක්ති පිරිවැය කර්මාන්තයට බලපාලා
  • පුහුණු සෞඛ්‍ය වෘත්තිකයන් රට හැරයෑම සහ ඖෂධ හිඟයත් ගැටලු‍ අතර

භානුක අමරසිංහ

සෞඛ්‍ය සේවා අංශය සම්බන්ධයෙන් සිදු කරන රජයේ නියාමනය පරෙස්සමින් සිදු නොකළොත් එම අංශය වෙත ලැබෙන ආයෝජන සඳහා එය තර්ජන එල්ල කරනු ඇතැයි ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි. 

2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් කරමින් සභාපතිවරයා මෙම කරුණු සඳහන් කර තිබේ. “අද වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන නියාමනය ඉහළ නැංවීමක් පිළිබඳව කතා බහක් සිදු වෙනවා. එහෙත් මෙම නියාමන කටයුතු වඩාත් පරෙස්සමින් යුතුව සකස් නොවුණහොත් එය එම ක්ෂේත්‍රයේ තාක්ෂණය සහ ධාරිතාව සඳහා සිදු කරන අනාගත ආයෝජන වෙත තර්ජනයක් වේවි.“ සභාපතිවරයා පවසා සිටියි.

මේ අතර අද වනවිට මෙම නියාමන පරිසරය වඩාත් ශක්තිමත් වී ඇති බව පෙන්වා දෙන පතිරගේ මහතා, ඒ හරහා පෞද්ගලික සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජනතාව අතර විශ්වාසයක් ගොඩනැගෙමින් පවතින බවත් සඳහන් කරයි.  

මීට අමතරව අද වනවිට මෙරට සෞඛ්‍ය සහ රෝහල් අංශය මුහුණ දෙන අභියෝග කිහිපයක් පිළිබඳවද සභාපති පතිරගේ මහතා මෙහිදී කරුණු දක්වා තිබේ. ඒ අනුව මෙම වසරේ පළමු අර්ධයේදී වෛද්‍ය උපකරණ සඳහා පැනවූ වැට් බදු සහ බලශක්ති පිරිවැයෙහි සිදු වූ ඉහළ යෑම සිය මෙහෙයුම් ආන්තික වෙත පීඩනයක් එල්ල කළ බව ඔහු පවසා තිබේ. 

“පෞද්ගලික අංශයේ සේවා සම්පාදකයන් ලෙස දැනට පවතින තරගකාරීත්ව පීඩනය හේතුවෙන් මෙම මිල-සංවේදී වෙළෙඳපොළේ ඉහළ යන මෙම පිරිවැය දරා ගැනීමට අපට සිදුව තිබෙනවා.”

එසේම පුහුණු සෞඛ්‍ය සේවා වෘත්තිකයන් තවදුරටත් රට හැරයාම හේතුවෙන් දක්ෂයන් රඳවා තබා ගැනීම සහ සේවා අඛණ්ඩතාව වෙත අභියෝග එල්ල කර තිබෙන බවත් සභාපතිවරයා පවසයි. 

“මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් වරින්වර ඇතිවන හිඟතාව හේතුවෙන් ප්‍රතිකාර කටයුතු වෙත බාධා එල්ලවීමක් සිදු වෙනවා. ඒ නිසා වඩාත් ප්‍රත්‍යස්ථ සැපයුම් දාමයක අවශ්‍යතාව අපි යළිත් අවධාරණය කරනවා.” සභාපතිවරයා වැඩිදුරටත් පවසයි. 



අදහස් (0)

සෞඛ්‍ය අංශයේ රාජ්‍ය නියාමනය පරෙස්සමින් සිදු නොවුණොත් ආයෝජනවලට තර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site