
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සමාගම වන ඩයලොග් ආසිආටා පීඑල්සී, විශිෂ්ටතම මෙහෙයුම් ක්‍රියාවලියක් සමගින් ශක්තිමත් ආයතනික පාලන ක්‍රමවේද ස්ථාපිත කිරීමේ ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයකට එළැඹෙමින්, ආයතනික කටයුතු වඩාත් ප්‍රශස්ත මට්ටමකට ගෙනයමින් සිය ප්‍රථම ඒකාබද්ධ ISO සහතිකරණ විගණන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ බව සතුටින් දැනුම් දෙයි.
මෙහි විශේෂත්වය වන්නේ, මීට පෙර වෙන වෙනම පරීක්ෂා කළ ජාත්‍යන්තර ප්‍රමිති රැසක් එකම විගණන ක්‍රියාවලියක් යටතේ පරීක්ෂාවට ලක් කිරීමයි. ඒ අනුව, අදාළ විගණන අවශ්‍යතා සපුරා ඇති ඩයලොග් සමාගම, සිය ආයතනික මෙහෙයුම් කටයුතු හරහා ගුණාත්මකභාවය, තොරතුරුවල ආරක්ෂාව හා පෞද්ගලිකත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දක්වන නොසැලෙන කැපවීම ඉන් විදහා දැක්වේ.
ස්වාධීන ප්‍රමිතිකරණ ආයතනයක් වන Quality Austria Central Asia Private Limited මගින් මෙහෙයවන ලද මෙම ඒකාබද්ධ විගණනයෙන් පිළිබිඹු වන්නේ, ආයතනික වැඩ කටයුතු වඩාත් විධිමත් කර, කාලය හා ශ්‍රමය අපතේ යාම වළකා ගැනීමට ආයතනය විසින් කටයුතු කිරීමයි.
ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ, මෙතරම් පුළුල් ISO ප්‍රමිති රැසක් පවත්වාගෙන යමින් ඒ සියල්ල එකම විගණනයකට යටත් කළ එකම ආයතනය ඩයලොග් වීම විශේෂත්වයකි. මේ හරහා පාරිභෝගිකයන්ට වඩාත් ආරක්ෂිත, විශ්වාසදායක සහ උසස් සේවාවක් ලබා දීමට සමාගමට හැකියාව ලැබී ඇත.
මෙම විගණනය යටතේ ආයතනයේ ප්‍රධාන අංශ ආවරණය වන පරිදි ජාත්‍යන්තර ප්‍රමිති දහයක් පරීක්ෂාවට ලක් කෙරිණි. ඒ අනුව, සේවා තත්වය, පරිසරය සුරැකීම, තොරතුරු ආරක්ෂාව, පෞද්ගලිකත්වය, ව්‍යාපාර අඛණ්ඩතාව සහ අවදානම් කළමනාකරණය වැනි ප්‍රධාන අංශ සඳහා ISO 9001, ISO 14001, ISO 37001, ISO 27001, ISO 27701, ISO 27017, ISO 27018, ISO 22301, ISO 14064 සහ ISO 31000 යන ප්‍රමිති සහතික හිමිකර ගැනීමට හැකිව තිබේ. මීට සමගාමීව, ඩයලොග් ආයතනය විසින් තම ISO 27701 සහතිකකරණය නවතම 2026 සංස්කරණය වෙත Upgrade කර ඇති අතරමග ISO 27017, ISO 27018 සහ ISO 22301 යන ප්‍රමිති සහතිකවල විෂය පථයද අතිරේක මෙහෙයුම් කරා තවදුරටත් පුළුල් කර තිබේ.
මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය. “මෙමගින් අපගේ ආයතනික කටයුතු වඩාත් වගකීමෙන් යුතුව, උසස්ම මට්ටමින් ඉටුකිරීමට ඇති කැපවීම මනාව විදහා දැක්වෙනවා. ISO ප්‍රමිති ගණනාවක් ඒකාබද්ධ විගණන ක්‍රමවේදයක් යටතේ ලබාගැනීමෙන්, අපගේ ආයතනික මෙහෙයුම් ක්‍රියාවලිය ඉහළම කාර්යක්ෂමතාවෙන් පවත්වා ගනිමින්, පාරිභෝගිකයන්ට වඩාත් සුරක්ෂිත විශ්වාසනීය සේවාවක් ලබාදීමට විශාල පහසුවක්. මෙම ක්‍රමවත් වැඩපිළිවෙළෙන්, පාරිභෝගික විශ්වාසය සමගින් වගකීම් සහගත ව්‍යාපාරික පිළිවෙත් මත ක්‍රියාත්මක වන අනාගතයට සූදානම්, ශක්තිමත් ආයතනයක් ගොඩනැංවීම අපගේ අරමුණයි.”
මෙම ඒකාබද්ධ සහතිකකරණ ක්‍රමවේදය හේතුවෙන්, ආයතනික අවදානම් කල්තියා පාලනය කරමින් නීතිමය රෙගුලාසි නිවැරදිව පිළිපැදීමටත්, සියලුම සේවා කටයුතු උසස් ප්‍රමිතියකින් පවත්වා ගැනීමටත් ඩයලොග් ආයතනයට හැකි වී තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඒකාබද්ධ ISO සහතිකය ලත් පළමු සමාගම ඩයලොග්