IMG-LOGO

2026 මාර්තු මස 26 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ ගනුදෙනුවලදී විදේශ මුදල් තහනම්

  • නීතිය කඩ කළොත් රුපියල් මිලියන 25ක දඩයක් හෝ වසර තුනක සිරදඩුවමක්

ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයන් විසින් මෙරට දී සිදු කරන ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල් වෙනුවට විදේශ මුදල් භාවිත කිරීම තහනම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි. 

ඒ අනුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ මහ බැංකුව විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති අවස්ථාවකදී හැර මෙරට නේවාසිකයන් අතර සිදුවන සියලු‍ම ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බව මහ බැංකුව එහිදී අවධාරණය කර සිටියි.

“එසේම ශ්‍රී ලංකා රුපියල් විදේශ මුදල්වලට පරිවර්තනය කරමින්, විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් (හර හෝ බැර කාඩ්පත්) මගින් සිදු කරන ගෙවීම්ද ඇතුළුව, දේශීය ගනුදෙනුකරුවන්ගෙන් ලැබෙන ගෙවීම්, විදේශ විනිමය ගිණුමකට බැර කරවා ගැනීම සඳහා දේශීය වෙළෙඳුන්ට මහ බැංකුව කිසිදු අවසරයක් ලබා දී නොමැත.” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව මහ බැංකුවේ අවසරයකින් තොරව, ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයකු මෙරට වෙළෙඳ ආයතනයක් වෙත විදේශ මුදලින් ගෙවීම් සිදු කිරිම හෝ ඕනෑම වෙළෙඳ ආයතනයක් භාණ්ඩ හා සේවා සැපයීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ නේවාසික පුද්ගලයකුගෙන් විදේශ මුදලින් ගෙවීම් ලබාගැනීම වරදක් වන බව මහ බැංකුව අවධාරණය කර සිටියි.

මෙම නීතිය උල්ලංඝණය කර නඩු විභාගයකින් පසු වැරදිකරුවන් වන පිරිස් රුපියල් මිලියන 25 කට නොවැඩි දඩයක් හෝ, වසර තුනකට නොවැඩි කාලයක් සඳහා (බරපතළ හෝ ලිහිල්) සිර දඩුවමක් හෝ එම දඩුවම් දෙකමද පැනවිය හැකි බව මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

 



අදහස් (3)

ශ්‍රී ලංකාවේ ගනුදෙනුවලදී විදේශ මුදල් තහනම්

Arun Saturday, 14 February 2026 04:39 PM

ලංකාවේ ඩියුටි ෆ්‍රී එකට විදේශ මුදල් වලින් ගෙවීම් කරන්න බැරිද?

:       0       0

dobiyaSunday, 15 February 2026 09:21 AM

බැහැ තේරෙන්නේ නැද්ද?

:       0       0

de silva Sunday, 15 February 2026 05:38 PM

මේ මහා බැංකුවේ ඉන්නේ පිස්සෝ සෙට් එකක්..., මේ මිනිස්සු හිතන්නේ ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයක් ඩොලර් සාක්කුවේ දමාගෙන ඩොලර් වලින් ගනු දෙනු කරනවා කියලා..., මේ මෝඩ ප්‍රක්ශයත් සමග කළු කඩේ ඩොලර් මිල බැංකුවලට සාපේක්ෂව ඉහළ ගිහිල්ලා.., රට සිට එන මිනිස්සු කෙලින්ම ඩොලර් මාරු කරන්නේ දැන් කළු කඩෙන් , මිනිස්සු බිය වෙලා NRFC ගිනුමටත් දැන් මුදල් දමන්නේ නැහැ. මේකෙන් වෙන්නේ බැංකුවල තිබෙන ඩොලර් සංචිත අඩුවෙලා ඉදිරි කාලේදී ඩොලර් එකට තිබෙන ඉල්ලුම වැඩි වෙලා... ඩොලර් එක ඉහළ ගිහින් බඩු මිල වැඩි වෙන එක වැනි ප්‍රශ්න නිර්මාණය වීම....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site