
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් 27 වැනි වරට සංවිධානය කරනු ලැබූ ජනාධිපති අපනයන සම්මාන උළෙල ඉකුත් දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙම සම්මාන ප්‍රදානයෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය උදෙසා ඉමහත් සේවයක් ඉටු කරන ලද අපනයනකරුවන් ඇගයීමයි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ජනාධිපති අපනයන සම්මාන ප්‍රදාන වැඩසටහන 1981 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර, මේ දක්වා සම්මාන උළෙල 26ක් සංවිධානය කර ඇත. 27 වැනි ජනාධිපති අපනයන සම්මාන උළෙලට කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, අපනයනකරුවන් ඇතුළු ආරාධිතයෝ 1500 ක් පමණ සහභාගී වූහ.
2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත්වූ මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළු සම්මාන 107ක් පිරිනමනු ලදී. නව රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව ශ්‍රී ලංකාවේ අපනයන පුළුල් කිරීම සඳහා නව උපාය මාර්ග ක්‍රියාත්මක කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ අපනයන සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, වෙළෙඳපොළ විවිධාංගීකරණය, නිෂ්පාදන විවිධාංගීකරණය, නවෝත්පාදන, අගය එකතු කිරීම, දේශීය සන්නාම ලෝකයට හඳුන්වා දීම, අපනයනවල තිරසාර බව, කලාපීය අගය දාමයන්හි සංවර්ධනය යනාදී ක්ෂේත්‍රවල අපනයනකරුවන් විසින් ගෙන ඇති මුලපිරීම් රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා වැදගත් ලෙස සැලකේ.
ජනාධිපති අපනයන සම්මාන උළෙල මගින් ජයග්‍රහකයන්ට සම්මානයක්/ සමරු ඵලකයක් සහ සහතිකයක් පිරිනමන අතර, ජනාධිපති අපනයන සම්මාන ලාංඡනය වසර 3 ක කාලයක් සඳහා අලෙවිකරණ මෙවලමක් ලෙස භාවිත කිරීමේ හැකියාව සම්මාන ලාභීන්ට හිමිවේ.
ශ්‍රී ලාංකික අපනයනකරැවන් අගයමින් 27 වැනි ජනාධිපති අපනයන සම්මාන පිරිනමයි