IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වසර 21කට පසු Rotary Institute සම්මන්ත්‍රණය 2026 ලංකාවේදී

වසර 21ක විරාමයකින් පසු 2026 Rotary Institute සම්මන්ත්‍රණය සඳහා සත්කාරකත්වය දැක්වීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. මෙම සුවිශේෂි සම්මන්ත්‍රණය 2026 දෙසැම්බර් 18 සිට 20 දක්වා පැවැත්වීමට නියමිතය.
රොටරි කලාපීය ආයතනය (Rotary Zonal Institute) යනු, ඉන්දියාව, ශ්‍රී ලංකාව, භූතානය, නේපාලය සහ මාලදිවයන යන රටවල් ඇතුළත් රොටරි ජාත්‍යන්තර 4, 5, 6 සහ 7 කලාපවල වාර්ෂික නායකත්ව හමුවයි. මානුෂීය ගැටලු, නවතම ප්‍රවණතා සහ කලාපීය හොඳම භාවිතයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වත්මන් හිටපු සහ අනාගත රොටරි නායකයන් මෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ ප්‍රමුඛ පෙළේ පෞරුෂයන් මෙහිදී එක් වේ.
Cinnamon Life ආයතනය සමග එක්ව දිල්ලි නුවර පැවැති 2026 රොටරි ආයතනික සම්මන්ත්‍රණයේ නිල සමාරම්භක උළෙල වර්ණවත් කිරීමට ජනප්‍රිය ගායන ශිල්පිනි සහ හිටපු රොටරැක්ට් සභාපතිනි යොහානි ද සිල්වා සහභාගි වූවාය. එහිදී ඇය ඉන්දියාවේ රොටරි නායකයන් 1,400කට සහ අනෙකුත් නියෝජිතයන්ට 2026 වසරේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙම සමුළුවට සහභාගි වන ලෙස පෞද්ගලිකවම ආරාධනා කළාය. රොටරි ජාත්‍යන්තර සභාපති ෆ්‍රැන්සිස් ඇසෙසෙරෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමාරම්භක උළෙල පළමු දිනයේ සුවිශේෂි අංගයක් විය.
ශ්‍රී ලංකා රොටරි ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා පත්වූ ප්‍රථම කාන්තා රොටරි ආණ්ඩුකාරවරිය වන ගෞරි රාජන් මෙනවිය 2026 රොටරි ආයතනික සම්මන්ත්‍රණයේ සභාපතිනිය ලෙස පත්කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ගෞරි රාජන් මහත්මිය මෙසේ පැවැසුවාය. “මෙම අවස්ථාව සඳහා දකුණු ආසියාව පුරා විසිරී සිටින රොටරි ආණ්ඩුකාරවරුන් 1,000කට අධික පිරිසක් පැමිණීමට නියමිත බැවින්, එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට ඩොලර් මිලියනයකට අධික දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.”
මෙම රොටරි ආයතනික සම්මන්ත්‍රණය ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයට අයත් ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන Cinnamon Life “City of Dreams” හිදී පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

වසර 21කට පසු Rotary Institute සම්මන්ත්‍රණය 2026 ලංකාවේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site