විමුක්ති එස්. රුද්‍රිගු
මෙම වසරේ පළමු මාස 7 තුළදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 607 ක් ඍජු විදෙස් ආයෝජන මෙරටට ලැබී තිබෙන බවත්, පසුගිය වසරේ පළමු මාස 7 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 7 දී මෙරටට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී තිබෙන බවත්, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය.
පසුගිය වසරේදී මෙරටට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 614 ක් බවත්, වත්මන් ප්‍රවණතාව අනුව මෙම වසර අවසාන වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක ඍජු විදෙස් ආයෝජන මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, හේරත් මහතා පැවැසුවේය. පසුගිය වසරේදී මෙරටට ලැබුණු ඍජු විදෙස් ආයෝජන ප්‍රමාණය ඊයේ (25) නිල වශයෙන් පසුකළ බව ඔහු ප්‍රකාශ කළේය.
![]() |
අර්ජුන හේරත් |
පසුගිය ජූලි මාසය අවසන් වනවිට ව්‍යාපෘති 63 ක් සඳහා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබාදුන් බවත්, ඉන් ව්‍යාපෘති 34 නව ව්‍යාපෘති බවත්, ඉතිරි ව්‍යාපෘති 29 මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම් බවත් ඔහු සඳහන් කළේය. අනුමැතිය ලබාදුන් ව්‍යාපෘතිවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 776 ක් බවත්, ඉන් ඩොලර් මිලියන 500 ක් ඍජු විදෙස් ආයෝජන බවත්, ඉතිරි ඩොලර් මිලියන 276 දේශීය ආයෝජන බවත් හේරත් මහතා පැවැසුවේය.
එසේම මෙම වසරේ ආයෝජන මණ්ඩලය ව්‍යාපෘති හරහා නව රැකියා 956 ඇතිකර තිබෙන බවත්, ආයෝජන මණ්ඩලයේ සමාගම් මෙම වසරේ පළමු මාස 7 දී ඇමෙරිකානු ඩොලර් බිලියන 4.56 ක අපනයන සිදුකර තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව තුළ නව ආයෝජන කලාප 7 ඇතිකිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත්, ඉන් ආයෝජන කලාප 2 ක් මෙම වසරේදී ඇතිකිරීමට ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවත් ඔහු පැවැසුවේය.
ඉතිරි ආයෝජන කලාප 5 මෙම වසරේදී ඇතිකිරීමට නොහැකි වුවහොත් ලබන වසර මුලදී එම ආයෝජන කලාප ඇතිකිරීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය බලාපොරොත්තු වන බවද හේරත් මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ පරිවර්තන ගමනේ විශේෂ ස්ථානයක් ඩිජිටල්කරණයට හිමිවන බව අර්ජුන හේරත් මහතා ප්‍රකාශ කළේය. ආයෝජන මණ්ඩලය ඩිජිටල්කරණය කිරීමේදී ගේට්වේ වෙබ් අඩවිය වැදගත් මුලපිරීමක් බවද ඔහු පැවැසුවේය.
මෙරට ආයෝජනය කිරීම සඳහා ආයෝජන අයැදුම්පත්‍රය ඉදිරිපත් කිරීමේ සිට ආයෝජන ගිවිසුම අත්සන් කිරීම දක්වා සියලුම පියවර ඩිජිටල්කරණය වනු ඇති බවත්, එමගින් ආයෝජන ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුක්ත වනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය තම සේවා ඩිජිටල්කරණය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මාර්ගගතව ආයෝජන අනුමත කිරීමේ පද්ධතියක් ඊයේ (25) දියත් කළ අතර, එහිදී අදහස් දක්වමින් ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා මෙම අදහස් පළ කළේය.
බී.ඕ.අයි ගේට්වේ ලෙස හැඳින්වෙන මෙම පද්ධතිය ආයෝජන අයැදුම්පත් ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා නිර්මාණය කරන ලද මධ්‍යගත ඩිජිටල් වේදිකාවක් වන අතර, එය ආයෝජකයන්ට ව්‍යාපෘති අයැදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කිරීමට ඉඩ සලසයි. මෙම පද්ධතිය ප්‍රධාන කොටස් තුනකින් යුක්ත වේ.
වසර අවසාන වනවිට ඩොලර් බිලියනයක ඍජු විදෙස් ආයෝජන අපේක්ෂාවක්