වසර අවසාන භාගයේ උනන්දුවෙන් මිලදී ගැනීමේ රැළි අපේක්ෂා කළහැකි බව වෙළෙඳපොළ නිරීක්ෂකයෝ දක්වති. සමාගම් සැලකිය යුතු ප්‍රමාණයක වසර අවසානයේ ගිණුම් වාර්තා යහපත් වනු ඇති බව සලකන ආයෝජන අංශ ඒවායේ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් පසුවන ආකාරයක් දැක්වේ. තුන්වැනි කාර්තුවේ දී හොඳ ප්‍රතිඵල පෙන්වන ලද සමාගම් තවත් වටයකින් ඉදිරියට පැමිණෙන බවක් ඇතැම් වාර්තා සනිටුහන් කරයි. සුළි කුණාටුව හේතු කොටගෙන ලැයිස්තුගත සමාගම්වලට එල්ල වී ඇති ක්ෂණික හානි අවම අතර ඇතැම් කාර්ය මණ්ඩල විපත් වාර්තා වී ඇත. වැවිලි, ඇඟළුම් හා සේවා ආශ්‍රිත සමාගම්වල තොරතුරු අනුව ඉලක්ක කරා ගමන් කළ හැකි තත්වයක් බව දැක්වේ.
විදේශික ආයෝජන අංශ තවදුරටත් දුර්වලවීම ඉකුත් බදාදා එනම් ගනුදෙනු අවසානයට පැවැති (දෙසැ. 24) ගනුදෙනුවලදී දැකිය හැකි වූ වැදගත් සිද්ධියක් බව දැක්විය හැකිය. රුපියල් මිලියන 59.9 ක කොටස් මිලදී ගෙන තිබුණ අතර විකිණීම් රුපියල් මිලියන 391.3 ක් බව සඳහන්ය. ශුද්ධ අවාසියක් රටට සිදු වූ නමුත් මෙම මුදල් මෙරට විදේශ මුදලින් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජනය කරන ප්‍රවණතාවක් පවතින බව මුල්‍ය විශ්ලේෂකයෝ දක්වා තිබේ. මෙම වසරේ ගත වූ කාලය තුළ රුපියලේ අගය ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 4.1 කින් අව ප්‍රමාණය වී තිබේ.
එය ඉදිරියේදී විදේශික මිලදී ගැනීම් සක්‍රිය කරන්නට බලපෑ හැකි සාධකයකි. මූල්‍ය තොරතුරු දක්වන අන්දමට මෙම වසර අවසන් වන විට මෙරට විදේශ වත්කම් ආරම්භයේදී පවත්වන ලද ඉලක්කයට වඩා ඇමරිකානු ඩොලර් බිලියන 570 ක් පහලින් පවතිනු ඇතැයි අනාවරණය වන අතර එය තවදුරටත් රුපියලේ අගය අවප්‍රමාණයට හේතුවන තත්වයකි.
එදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,068.84 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 109.79 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,041.53 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 26.05 ක වර්ධනයකි.
දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.78 කි. ගනුදෙනු 19,819 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 91.42 ක් විය. සමාගම් 173 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 70 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 71.40 ක් වැනි ඉහළ අගයක විය.
නිරීක්ෂක
වසර අවසාන භාගයේ මිල දී ගැනීමේ රැළි