IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


විදුලිබල ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

විමුක්ති එස් රුද්‍රිගු


ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා තවදුරටත් සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව ප්‍රතිපත්ති පදනම් කර ගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ණය මුදලක් අනුමත කළ බව එම බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
මෙම මූල්‍යකරණය වඩාත් ස්ථාවර සහ මූල්‍යමය වශයෙන් තිරසාර බලශක්ති අංශයක් ස්ථාපිත කිරීම සඳහා මිට පෙර ආරම්භ කළ මුලපිරීම ඉදිරියට ගෙන යාමක් බවද ආසියානු සංවර්ධන බැංකුව පැවැසුවේය.
මෙය ආසියානු සංවර්ධන බැංකුවේ විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය තිරසාර වැඩසටහනේ දෙවැනි උප වැඩසටහන බවත් 2024 විදුලිබල පනත සහ එහි 2025 සංශෝධනය මගින් නියම කර ඇති පරිදි, ලංකා විදුලිබල මණ්ඩලය උත්පාදනය, සම්ප්‍රේෂණය, පද්ධති ක්‍රියාකාරිත්වය සහ බෙදා හැරීම සඳහා ස්වාධීන සමාගම් හතරකට බෙදීම කඩිනම් කරනු ඇති බවත් ආසියානු සංවර්ධන බැංකුව ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු මිලියන 100 ක ණය මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව මෙරට ආර්ථිකය ස්ථාවර කර ගැනීමේදී සහ මූල්‍ය තත්වය ශක්තිමත් කර ගැනීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබාගෙන තිබෙන බවයි.
ශ්‍රී ලංකාව යථා තත්වයට පත්කිරීමේ ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමටත් කල්පවතින වර්ධනයක් ළඟාකර ගැනීමටත් හොදින් ක්‍රියාත්මක වන විදුලිබල අංශයක් මෙරටට අවශ්‍ය බව කඩෝනෝ මහතා ප්‍රකාශ කළේය. මෙරට දීර්ඝකාලීන සංවර්ධනයටත්, විදුලිබල අංශයේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව කැපවී තිබෙන බව අධ්‍යක්ෂවරයා පැවැසුවේය.



අදහස් (0)

විදුලිබල ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site