IMG-LOGO

2026 ජනවාරි මස 20 වන අඟහරුවාදා


ලාබ සොයන ආයෝජකයෝ වාර්තාගත වර්ධනය මගහරිති

කොටස් වෙළෙඳපොළ දර්ශක වාර්තාගත ඉලක්කයක් කරා ගමන් කරන්නට ඉඩ තිබිය දී දර්ශක පහත වැටෙන ස්වභාවයක් ඊයේ (ජනවාරි 13) ගනුදෙනුවල දී නිරීක්ෂණය කළ හැකි විය. මිල දී ගත් කොටස් විකිණීමෙන් ලාභ ලැබීමට ඇතැම් ගනුදෙනුකරුවන් උත්සාහ කළේය. එය දර්ශක තරගකාරීත්වය සීමා කරන ලදී. දිනයේ ගනුදෙනු ආරම්භයේ දී වර්ධනයක් සහිත වූ නමුත් පසුව ඉක්මනින් තියුණු පසුබෑමක් සනිටුහන් කළේය. කෙසේ වෙතත් අවසානයේ දී මිල දී ගැනීම් ඉහළ ගිය හෙයින් දර්ශකවල පසුබෑම නැවත ආවරණය කරගත හැකි වු බව සටහන්ය. 
අඩු පොලී අනුපාත සහ සමාගම්වල ඉපැයීම් හේතු කොටගෙන තව දුරටත් සමාගම්වල කොටස් සඳහා ඉල්ලුමක් ඇති විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. 2024 වසරේ සියයට හතළිස් හතකින් වර්ධනය වූ වෙළෙඳපොළ පසුගිය වසරේ දී තවත් සියයට හතළිස් එකකින් ප්‍රසාරණය වී ඇත. මේ අතර ප්‍රාග්ධනීකරණය රුපියල් ටි්‍රලියන අටක සීමාව ඉක්මවීම සියයට හතළිස් දෙකකට ආසන්න වර්ධනයක් බව ද දක්වයි. මෙම ඉලක්කම්වලින් පෙන්වන විශ්වාසනීයත්වය ඉදිරියට ද පවත්වාගෙන යාය හැකි වෙතැයි ආයෝජන උපදේශකයෝ ප්‍රකාශ කරති. 
අද දිනයේ දී ද කොටස් මිල දී ගැනීමට උන්නදුවක් ඇති විය හැකිය. තෝරා ගත් සමාගම්වල කොටස් ඉල්ලුම ඉහළ යනු ඇත. විදේශ සහභාගීත්වය සක්‍රීය වන බවක් නිරීක්ෂණය කළ හැකි අතර එය වාසිදායකය.
ඊයේ දිනයේ  (ජන 13)  ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,607.80 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 0.71 ක ඉතා සුළු පහත වැටීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,494.76 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 7.69 ක පසුබෑමකි.  දෛනික පිරිවැටුම රු. බිලියන 4.94 කි. ගනුදෙනු  37,966 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 133.24 ක් විය. සමාගම් 161 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 61.26 ක් වැනි  අගයක විය. සිටිසන් ඩිවෙලොප්මන්ට් බැංකුව රු. මිලියන 253 ක්,  කොමර්ෂල් බැංකුව  රු. මිලියන 249 ක්, සියෙරා කේබල්  රු. මිලියන 230 ක් ආදි වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක



අදහස් (0)

ලාබ සොයන ආයෝජකයෝ වාර්තාගත වර්ධනය මගහරිති

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site